Untitled 1

ජාතික රහස් ඔත්තු සේවයේ හිටපු ලොක්කා කේබල් රූපවාහිනියක සේල්ස් රෙප් වැඩෙත් කරලා !

ජාතික රහස් ඔත්තු සේවයේ හිටපු ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ තම ඔත්තු සේවයේ සාමාජිකයින් යොදවා ප්‍රංශ කේබල් රූපවාහිනී නාලිකාවක ග්‍රාහක වෙළඳ ගිවිසුම් (Subscriptions) විකුණවා ඇති බවත්, ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන ඇති බවත් වාර්තාවේ. දෙමළ ඩයස්පෝරාව සමඟ අවබෝධතාවක් ඇති කරගැනීමේ මුවාවෙන් ගෙනගිය මෙම ව්‍යාපාරය හෙළිදරව් වී ඇත්තේ ද සුවිශේෂී පොලිස් නිලධාරියකු නිසාය.



2011 වසර වන විට යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ වී. ඉන්ද්‍රන් මහතාය. ඔහු ඉතා නීතිගරුක සහ එඩිතර පොලිස් නිලධාරියකු ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකි. එවකට උතුරු ප්‍රදේශයේ ව්‍යාප්ත කෙරුණු ප්‍රංශ කේබල් රූපවාහිනී නාලිකාවක් පිළිබඳව අමුතු අමුතු රාවයන් පැතිරෙමින් තිබිණි. ඒවායින් කියැවුණේ Dan TV නම් එම නාලිකාව දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ එකක් බවය. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත් වූ ඉන්ද්‍රන් මහතා විසින් අදාල රූපවාහිනී නාලිකාව ග්‍රාහකයින් වෙත විකුණූ පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී. එදිනම ජාතික රහස් ඔත්තු සේවා ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ ඔහුට දුරකථනයෙන් අමතා වහාම කොළඹ පැමිණෙන ලෙස පවසා ඇත. ආරක්ෂක රැස්වීමක් සඳහාදැයි ඉන්ද්‍රන් මහතා විමසා සිටියදී හෙන්දාවිතාරණ ගෝරනාඩු කර ඇත්තේ "තමුසෙට ඒවා වැඩක් නෑනෙ ඕයි, ඉක්මනට එනවා" යනුවෙනි.

කොළඹ පැමිණ රහස් ඔත්තුසේවා ප්‍රධානියා හමුවූ විගස ඔහු ඉන්ද්‍රන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ "මොකටද අර Dan TV විකුණපු ළමයින්ව ඇරෙස්ට් කළේ. උන් අපෙ එවුන්නෙ ?" යනුවෙනි. මෙහිදී 'අපේ උන්' කීවේ ජාතික රහස් ඔත්තු සේවයේ සාමාජිකයින්ය. ජාතික රහස් ඔත්තු සේවය විසින් දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ කේබල් රූපවාහිනී නාලිකාවක ග්‍රාහක ගිවිසුම් විකිණීම කවරාකාරයේ ගනුදෙනුවක්ද සහ දෙපාර්ශ්වය අතර ඇති සම්බන්ධය කුමක්දැයි නි.පො.ප. ඉන්ද්‍රන් විමසූ විට නැවතත් පරළ වන හෙන්දාවිතාරණ " තමුසෙට මොකටද ඒවා ? ඒක මගෙයි ආරක්ෂක ලේකම්තුමාගෙයි වැඩක්, අපෙ උන් ටික එළියට දාලා පාඩුවේ ඉන්නවා" යනුවෙන් සත්තමක් ද අතහැර තිබේ. ඒ මොහොතේ දැඩි ලෙස කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් පුටුවට ද පයින් ගසා නැඟිටිමින් " උඹ මේක එළියෙදි කිව්වා නම් කන රත්වෙන්න ගහනවා, උඹ මොකා උනත් මට වැඩක් නෑ, උඹලා තමයි ඔත්තු සේවය විකුණං කන්නෙ " යනුවෙන් පවසා පිටව ගොස් ඇත.

එයින් පසුව කපිල හෙන්දාවිතාරණ සහ ගෝටාබය රාජපක්ෂ ජෝඩුව දිගින් දිගට ම ඉන්ද්‍රන් මහතාගෙන් පළිගැනීමට උත්සාහ කරමින් ස්ථාන මාරුවීම් ලබා දුන්න ද ඔහු තම හිස කෙළින් තබාගෙන යන යන තැන සේවය කළේය. වෙනෙකක් තබා 2014 වසරේදී රාජපක්ෂ රෙජීමය විසින් දර්ගා නගරයෙහි ඇති කළ ජාතිවාදී කලබලය තවත් කලු ජුලියක් කරවීම සඳහා ගැනුණු උත්සාහය ව්‍යර්ථ කරන ලද්දේද ඉන්ද්‍රන් මහතා විසිනි. 2014 ජුනි මස බොදු බලසේනාවේ මැරයින් විසින් දර්ගා නගරයෙහි කෝලාහලය ඇති කළ පසුව එදින රාත්‍රියෙහි ගෝටාබයගේ සහ බැසිල් රාජපක්ෂගේ ද අනුදැනුම ඇතිව ම එදින රාත්‍රියේ මහා ජන සංහාරයක් කිරීමට සැලසුම් සකස් කෙරී තිබිණි. 1983 වසරේ කලු ජුලියෙන් දෙමළ ජන සංහාරය කළ සේම රාත්‍රියෙහි භීෂණය වැපිරීමට සූදානමින් සිටි නමුත් එවකට කලුතර ප්‍රදේශය භාරව සිටි ඉන්ද්‍රන් මහතා විසින් වීදි බසින තරමක් බොදුබල සේනාවේ දඩ බල්ලන් අල්ලා කූඩු කිරීම නිසා එදින සැලසුම් කළ ලේ වැගිරීම ව්‍යර්ථ කෙරිණි. පසුදින වන විට ජාත්‍යන්තරය මේ පිළිබඳව දැනුවත් වී සිටි හෙයින් ගෝටාබයලාට තමන්ගේ ඩෙඟා නැටුම හකුලා ගන්නට සිදුවිය. ඉන්ද්‍රන් මහතා යනු එසේ සෘජුව තම සේවය ඉටු කළ ගෞරවනීය නිලධාරියෙකි.

පෙරකී 2011 වසරේ රූපවාහිනී නාලිකා ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය මඟින් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. ඒ අනුව දැනට හෙළිදරව් වී ඇත්තේ කපිල හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂව ද ගොනාට අන්දවාගෙන මෙම Dan TV ගනුදෙනුව සිදු කර ඇති බවයි. Dan TV හරහා මුදල් ලබාදීමෙන් දෙමළ ඩයස්පෝරාව සතුටු කර, යහපත් සම්බන්ධයක් ඇති කරගත හැකි බවට ගෝටාබයට දැනුම් දී ඇති හෙන්දාවිතාරණ ඩයස්පෝරාව කෙසේ වෙතත් කේබල් ටීවී මගඩියෙන් යූරෝ මුදල් විශාල ප්‍රමාණයක් ප්‍රංශයට යවන්නට සහ තවත් කොටසක් ලංකා බැංකුවෙහි සංචිත ලෙස යෙදවීමට සමත්වී ඇති බවය.

රට ජාතිය බේරාගත් බව කියන රහස් ඔත්තු සේවාවන්හි එදා කෙරුණු පජාති වැඩ මේවාය. මේවා හෙළිදරව් වන විට කියන්නේ 'රණ විරුවන් දඩයම් කරනවා' කියාය. මීට වඩා විස්තර අප සතුව ඇතත් දැනට හෙළිකළ නොහැකිව ඇත්තේ අදාල පරීක්ෂණ වලට බාධා වන නිසාය. ජාතික රහස් ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියා ජාතියත් රහසුත් ගහේ තියා සේල්ස් රෙප් රස්සාව කර තිබුණේ ඔහොමය !

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top