Untitled 1

රුසියන් - ශ්‍රීලංකා සබඳතා බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් !

ශ්‍රී ලංකා රජය විසින් රුසියාව සමග සබඳතා තරකර ගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා කිසියම් පිරිසක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම වැඩපිළිවෙල දියත් කර තිබේ. ඒ අනුව ඉන්දියාව සහ රුසියාව සමග බිඳවැටී ඇති සබඳතා නැවත ශක්තිමත් කරගැනීමට රජය කටයුතු කරමින් සිටී.

මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ කුප්‍රකට උදයංග වීරතුංග විසිනි. රාජපක්ෂ පාලන සමයේදී යුක්‍රේනය සමග එක්ව සිදුකළ කූට ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උදයංග වීරතුංග තවමත් කටයුතු කරන්නේ යුක්‍රේන සමාගම්වල අවශ්‍යතා පරිදිය.

යුක්‍රේන් මෑෂ්  නැමැති සමාගම මේ සඳහා මුදල් පොම්ප කරමින් සිටින අතර ඒ හරහා රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා අඩපන කිරීමට කටයුතු කරමින් සිටී. මෙකී යුක්‍රේන් නෑෂ් සමාගම ඉන්දියා ඇතුළු රටවල් කිහිපයක් සමග අත්සන් කළ ව්‍යාපාරික ගිවිසුම් විශාල ප්‍රමාණයක් කඩ කරමින් ජාත්‍යන්තරය තුළ බ්ලැක් ලිස්ට් වී ඇති සමාගමකි.

මෙම වැඩපිළිවෙලේ මෙරට නියෝජිතයා ලෙස පෙනී සිටින්නේ ලංකා ලොජිස්ටික්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කරන ආචාර්ය ලලිත් ලියනගේ නැමැත්තාය.

යුක්‍රේනය හා රුසියාව අතර දැඩි මතභේදාත්මක තත්වයක් තිබෙන වකවානුවක යුක්‍රේනය කටයුතු කරමින් සිටින්නේ රුසියාව හා සෙසු රටවල් අතර සබඳතා බිඳවට්ටමින් රුසියාව හුදෙකලා කිරීමයි. මේ සිදුවන්නේ එම වැඩපිළිවෙලේ එක් අදියරකි.

පැවති රජය යටතේ දේශපාලන බලය ද රිසි සේ භාවිතා කරමින් මුල්‍ය වංචා සිදුකළ, රාජ්‍ය සම්පත් රිසිසේ භාවිතා කළ උදයංග වීරතුංග විදෙස් ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා අනුව තවදුරටත් කටයුතු කරමින් සිටී. ඒ අනුව එම ජාවාරම්කරුවන්ගේ මුදල්වලට කෑදරකමින් ඕනෑම දෙයක් සිදුකිරීමට උදයංග වීරතුංග වැන්නන් කටයුතු කරන බව රහසක් නොවේ.

ජාත්‍යන්තරය දිනාගැනීම සඳහා රජය කුමන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළද මෙවැනි කුප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් ආරක්ෂා වියයුතුය. එපමණක් නොව ඔවුන්ට එරෙහිව ගෙනයන නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් නොකළහොත්, වහ වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් යහපාලන රජය යටතේද තවදුරටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ හුදෙකලාවීම නොවැලැක්විය හැකි වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top