Untitled 1

එජාපයේ අර්බුද ඇතිකරන්න ශ්‍රීලනිප උත්සාහයක්

අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇති අමාත්‍යංශය ඈඳා ගනිමින් එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට ශ්‍රීලනිප අභ්‍යන්තරයේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

රජය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශ්වය උත්සාහ කරමින් සිටින්නේ ජනාධිපතිවරයා කෙසේ හෝ එකඟ කරවාගෙන කැබිනට් සංශෝධනයක් හරහා මෙම අර්බුදය නිර්මාණය කිරීමටයි. මේ සඳහා ශ්‍රීලනිප ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටී.

ශ්‍රීලනිපයේ ඉලක්කය වී තිබෙන්නේ රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධූරයෙන්, මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යධූරයෙන්, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමටයි. මෙම ඇමතිවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් වන අතර එවැනි ප්‍රබලයන් ඉවත් කිරීමට දරන උත්සාහය හරහාම මෙහි යටි අරමුණක් පවතින බව පැහැදිලි වේ.

එජාපයේ මෙම ප්‍රබලයන් ඉවත් කර ඒ සඳහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පත්කිරීමේ උත්සාහයක් පවතින අතර එය සාර්ථක නොවුනහොත් එජාප දෙවන පෙළ මන්ත්‍රීවරුන් අදාල අමාත්‍යධූර සඳහා පත්කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

ප්‍රබල අමාත්‍යධූර සඳහා දෙවනපෙළ මන්ත්‍රීවරුන් පත්කිරීම එජාපය තුළ අනිවාර්ය අර්බුදයක් නිර්මාණය කරන අතර එම අර්බුදය හරහා ශ්‍රීලනිපය ශක්තිමත් කරගැනීම ඔවුන්ගේ අරමුණ වේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ මෙම යෝජනාවට ජනාධිපතිවරයා එකඟතාවය පළකර නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගිය දිනවල විවිධ අවස්ථාවලදී නිකුත් කළ විවිධ ප්‍රකාශ හේතුවෙන් තිරය පිටුපස දරන උත්සාහය අනාවරණය වෙමින් තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top