1150 x 80 px

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තනතුර නැවතත් හිස්වී ඇත

2017-03-01 දින මේජර් ජෙනරාල් චන්න ගුණතිලක විශ‍්‍රාමයාමෙන් හිස්වු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් කිහිපදෙනෙක් අතර සීතල තරගයක් පවතී. පෞද්ගලික හිතවත්කම මත නොව නිළධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨතම නිළධාරීන් පස්දෙනෙකුගේ නාම යෝජනා හමුදාපති විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යැවීම මෙතෙක් අනුගමනය කළ පිලිගත් සම්ප‍්‍රදාය වේ.

මෙවැනි උසස් තනතුරකට නිළධාරින් පත්කිරීමේදි පහත කරුණු පිළිබඳව දැඩි සැළකිල්ලක් දැක්විය යුතුය. නැතහොත් මෙම තනතුරුවල ඇති වැදගත්කම හා ගුණාත්මකභාවය නැතිවී තවත් වැඩකට නැති දේශපාලන තනතුරක් බවට පත්වීමට ඉඩ ඇත.

ඒකකයක අණදෙන නිළධාරී, බලසේනාධිපති, සේනාංකාධිපති, ආරක්ෂක සේනා ආඥාපති වැනි තනතුරු දරා පියවරෙන් පියවර ඉහලට පැමිණි අයෙක් විය යුතු අතර එසේ නොමැතිව පැරෂුට්කාරයෙකු නොවිය යුතුය.

පීඑස්සි/එන්ඩීසී වැනි උසස් පාඨමාලා සාර්ථකව හදාරා පුහුණු පාසැලක උපදේශක/සේනාවිධායක තනතුර දරා දැනුම දියුණු කරගෙන සිටින සිංහල හා ඉංග‍්‍රීසි භාෂාව ව්‍යක්තව හැසිරවීමේ හැකියාව ඇති අයෙකු විය යුතූය

දීර්ඝ සේවා, උත්තම සේවා වැනි පදක්කම් ලබා නොකැලල් සේවයක් තිබිය යුතුය. එසේ නොමැති වුවහොත් යුද හමුදාවේ සාමාජිකයන්ගේ විනය පිළිබඳ තීරණ ගැනිමේදී මොහුට අපහසුතාවයන්ට පත්විය හැක.

ඉතිහාසය පුරා තමන් දරන ලද තනතුරුවල ගෞරවය ආරක්ෂා කරමින් තමන්ගේ පෞද්ගලිකත්වයට වඩා රාජකාරියට මුල්තැන ලබාදී කටයුතු කර හමුදාවට වැඩදායක ලෙස සාර්ථකව තම රාජකාරි ඉටුකර තමන්ගේ හැකියාවන් ඔප්පුකර තිබිය යුතුය.

යුද්ධයේදි නිවැරදිව තම නිළධාරීන් හා සෙබළුන් හසුරුවා මෙහෙයුම්වලට සාර්ථක දායකත්වයක් ලබාදි වීරත්වය වෙනුවෙන් පදක්කම් ලබා තිබීම.

තනතුරට සරිලන පෞර්ෂත්වයක් හා ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තවීම.

යුද හමුදා රාජකාරියෙන් හා ආචාරධර්මවලින් බැහැරව සදාචාරාත්මක නොවන තමන්ගේ පටු වාසිය තකා ප‍්‍රසිද්ධ දේශපාලනයේ යෙදෙන බවටද වෝදනාද යම් දේශපාලනඥයකුගේ අතකොලුවක්ද නොවිය යුතුය.

කර්නල්, සේනාවිධායක වැනි පරිපාලනමය තනතුරක් කාලයක් තිස්සේ දරා තම රෙජිමේන්තු නිළධාරින්ගේ, සෙබළුන්ගේ හා රෙජිමේන්තුවේ භෞතික හා අධ්‍යාත්මික දියුණුව කෙරෙහි කටයුතූකර සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා තිබිය යුතූය.

යුද හමුදාපති, නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී, ස්වෙච්ඡා බලසේනා ආඥාපති, හමුදා මුලස්ථානයේ ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරින් හා ආරක්ෂක සේනා ආඥාපති වැනි යුද හමුදාවේ ඉහළම හා වගකිවයුතු තනතුරු දරන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සමග සහයෝගයෙන් හා එකමුතුව රාජකාරි කළහැකි නිළධාරියෙකු විය යුතුය.

තමන් යටතේ රාජකාරි කළ නිළධාරීන්ට හෝ සෙබළුන්ට අසාධාරණ හෝ අමානුෂික ලෙස සලකා මානව හිමිකම් කඩකිරිම් පිළිබඳ චෝදනා ලබා නොමැති අයෙකු විය යුතුය.

අවම වශයෙන් මාස 6 කට වැඩි ඉදිරි සේවාකාලයක් තිබීම, නැතහොත් තනතුරට පැවරෙන රාජකාරින් හා වගකීම් නිසි සැලසුමකට අනුව ක‍්‍රමානුකූලව ඉටුකිරීමට කාලයක් නොමැතිවීමද, නිතරම මෙම තනතුරට නිළධාරින් තේරීමට යාමේදී ජ්‍යෙෂ්ඨ නිළධාරීන් අතර තරගයක් ඇතිවී හමුදාවේ එකමුතුකම හා සමගියට එයින් බාධාවීමද සිදුවිය හැක.

අනිවාර්යෙන්ම සේවා ඒකකයක නිළධාරියෙක් නොවිය යුතුය. හමුදාපති රටින් බැහැරව සිටින අවස්ථාවල, හමුදාපති බරපතල අනතුරකට හෝ දරුණු රෝගයකට ලක්ව හමුදාපති තනතුරේ රාජකාරි ඉටුකිරීමට නොහැකි අවස්ථාවල හා හමුදාපති හදිසියේ මියගිය අවස්ථාවක මාණ්ඩලික ප‍්‍රධානී වැඩබලන හමුදාපති තනතුරට පත්කරන බැවින් මෙම කරුණ කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතුය.

පසුගිය රජය සමයේ දේශපාලන හිතවත්කම මත, දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙම තනතුරට නිළධාරීන් පත්කළද යහපාලන රජයේ ප‍්‍රතිපත්තිය අනුව එම පහත් ක්‍රියාවලිය අවසන් කර ජ්‍යෙෂ්ඨත්වය මත මෙම තනතුරට නිළධාරීන් පත්කිරිමට කටයුතු කිරීමේ ගෞරවය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට හිමිවි ඇත. ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිපදෙනෙක් එම තනතුරුවලට තරග කිරීම නිසා ඔවුන් මාධ්‍ය මගින් එකිනෙකාට මඩ ගසාගනිමින් හමුදාවේ නිළධාරීන් අතර අසමගිකම ඇතිවී හමුදාවේ පිල්බෙදීමේ ක්‍රියාවලිය එම හේතුවෙන් නතරවීම නිසා යුද හමුදා සාමාජිකයන් රජය කෙරෙහි පැහැදීමක් ඇතිවිය. පසුගිය කාලවල රජයට සම්බන්ධ බලගතු විවිධ පුද්ගලයන් විසින් තමන්ට හිතවත් නිළධාරීන් කිහිප දෙනෙක්ගේ නාම යෝජනා නිර්දේශ කර ජනාධිපතිට හා රජයට ඉදිරිපත් කලද ඒවා සැලකිල්ලට නොගෙන යහපාලන රජය විසින් මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මිලින්ද පීරිස්, සුමේධ පෙරේරා, උභය මැදවල හා චන්න ගුණතිලක වැනි නිළධාරින්ට තම ජ්‍යෙෂ්ඨත්වය මත තනතුරු ලබාදෙන ලදී.

මේවන විට තම පෞද්ගලික න්‍යාය පත‍්‍ර ඉටුකර ගැනීම සඳහා තම හිතවතුන් පත්කර ගැනීමට විවිධ පාර්ශ්වයන් විසින් සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත දැනගැනීමට ලැබී ඇත. නමුත් රජයේ ස්ථාවරය වෙනස් නොකර යුද හමුදාවේ සිටින සුදුසුම නිළධාරියකු පත්කරයි යන විශ්වාසය හමුදා සාමාජිකයන් තුළ ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top