Untitled 1

ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් විසිර යති

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගත් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 පුහුණුවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරි සඳහා අනුයුක්ත කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (18) පෙරවරුවේදී පැවැත්විණි.

මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි. පළමු අදියර යටතේ බස්නාහිර පළාත සඳහා පමණක් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් බඳවාගෙන ඊට අදාල පුහුණු කිරීම් කටයුතු පසුගියදා සිදු කෙරිණි. එම පුහුණුව අවසන් කළ මදුරු මර්දන සහායක නිළධාරීන් අද දින (18) සිට ක්ෂේත්‍ර රාජකාරී සඳහා යෙදවීම සිදුවේ.

මෙම උත්සවය අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

'ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනීම සිදු කරන විට අමාත්‍ය මණ්ඩලයේ දී විවිධ ගැටළු ඇති වුනත්, අතිගරු ජනාධිපතිතුමා ඊට පුර්ණ සහයෝගය ලබාදුන්නා. මේ වනවිට 500 ක් බඳවාගෙන ඇති අතර, ඉතිරි 1000 ඉදිරියේදී බඳවා ගැනීමට නියමිතයි. මෙම මදුරු මර්දන සහායකයින් 500 දෙනාගෙන් තෝරාගත් 100 ක් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දන කටුයුතු සදහා ලබන සඳුදා සිට යෙදවීමට තීරණය කර තිඛෙනවා. සෞඛ්‍ය සේවාව අද මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගය වන්නේ එච්.අයි.වී සහ ඩෙංගු උවදුරයි. අනෙකුත් බෝවන රෝග අපි මර්දනය කර තිබෙනවා. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 21,000 වැඩි ප්‍රමාණයක් වාර්තා වුනා. ඉන් 8,800 ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු මදුරු මර්දනය ජාතික ව්‍යාපාරයක් ලෙස සළකා රාජ්‍ය නායකයා මෙම අවස්ථාවට එක්වීම මම අගය කරනවා. පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා දේශගුණික විපර්යාස හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වුනා.'

මෙම අවස්ථාවේදී ඩෙංගු මදුරු සහායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top