Untitled 1

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම

මහා භාණ්ඩාගාරයේ හිටපු අධිපතිවරයාගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට පාසිකුඩා හී නව මත්පැන් නිෂ්පාදනාගාරයක් වෙනුවෙන් අවසර ලබා දී ඇතත් රජය අනුබද්ධ සමාගමක් වන ගල්ඔය ප්ලාන්ටේෂන් සමාගමට (හිඟුරාන) එම අවසරය ලබා දීම සැලසුම්සහගත ලෙස මඟ හරින්නට වගකිවයුත්තන් ක්‍රියා කරමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.


මේ හේතුවෙන් ගල්ඔය ප්ලාන්ටේෂන් සමාගමට සිය සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන මොලෑෂ් යොදා ගනිමින් මධ්‍යසාර නිෂ්පාදනය සඳහා මත් පැන් බලපත්‍රය අපේක්ෂාවෙන් ගෙන්වන ලද යන්ත්‍රසූත්‍රවල ණය මුදල් පවා ගෙවීමට දුෂ්කර තත්ත්වයක් මතුව ඇති බව ද වාර්තා වෙයි.
පසුගිය සමයේ සමාගමේ මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් ලබාගත් ණය පියවීමේ ගැටලුව මත සමාගමේ කොටස් 49%ක් පෞද්ගලික අංශය වෙත පැවරීමට සිදුව ඇති අතර තවදුරටත් අදාළ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය නිකුත් කිරීම පමා වුවහොත් දැඩි මූල්‍ය අස්ථාවරත්වය මත සමාගම ඈවර කරන්නට සිදු වීමේ අවදානමක් මතු විය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කිසිදු සාධාරණ කරුණු දැක්වීමක් පවා සිදු නොකර මේ අයුරින් රාජ්‍ය අනුබද්ධ සමාගමක් වෙත සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට වගකිවයුතු පාර්ශ්ව ක්‍රියා නොකිරීම පිටුපස දැඩි දේශපාලන බලපෑමක් ඇති බවට සැක පහළ වන බවත් එහි අපේක්ෂාව මේ වන විට මෙරට මද්‍යසාර වෙළෙඳපොළේ ඇලෝසියස් සමාගමට ඇති ඒකාධිකාරී වෙළෙඳ පංගුව ආරක්ෂා කරදීම විය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධව ගල්ඔය ප්ලාන්ටේෂන් සමාගම වෙතින් අප කළ කරුණු විමසීමක දී ඔවුන් සඳහන් කර සිටියේ තම සමාගම සඳහා මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රය නිකුත් නොකිරීමට හේතු දැක්වීමක් වගකිවයුතු කිසිදු පාර්ශ්වයක් හරහා ලැබී නැතිමුත් ඉදිරියේ දී එම බලපත්‍රය නිකුත් කරනු ඇති බවට නිල නොවන දැනුම්දීමක් ලැබී ඇති බවය.
එසේම තමන් මෙවැනි බලපත්‍රයක් වෙනුවෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවේ සීනි කර්මාන්තයෙන් පමණක් ලබන ආදායම හරහා සමාගම ලාභ ලබන තත්ත්වයෙන් පවත්වාගෙන යාම දුෂ්කර නිසා බවත් අදාළ බලපත්‍රය තමන්ට හිමි වුවහොත් රාජ්‍ය අනුබද්ධ සමාගමක් ලෙස සැලකිය යුතු ලාභයක් සමඟ රජයට ද විශාල ආදායමක් හිමිකර දීමට තමන්ට හැකියාව ඇති බවත්ය.
සංජය ලියනගේ - සත්හඬ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top