Untitled 1

ඉන්දීය ශ්‍රී ලංකා ධීවර ගැටලුව නොවිසඳෙන ලකුණු

පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයකුට වෙඩි තැබූ බවට සඳහන් කරමින් ඉන්දීය ධීවර ජනතාව දින 6 ක විරෝධතාවක් සිදු කළේය. මෙම වෙඩි තැබීම තමන්ගෙන් සිදුවූ දෙයක් නොවන්නක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව දිගින් දිගටම ප්‍රකාශ කළේය.

තවදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අප කළ විමසුමට පිළිතුරු දෙමින් සඳහන් කලේ වෙඩි තැබීමක් කිසිලෙසකින් හෝ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සිදු නොවන බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා එම වෙඩි වැදුණු බවට සඳහන් වන බෝට්ටුවේ ජී.පී.එස්. සංඥා තොරතුරු ඉල්ලා ඇති බවත්ය. මෙතෙක් ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එකී අදාල තොරතුරු මෙරටට ලබා නොදී ඇති බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම අප මේ පිළිබඳව ධීවර සංගම්, උතුරේ ජනතාවගෙන් මෙන්ම උතුරු මුහුදේ ධීවරයන්ගෙන්ද විමසූ අතර ඔවුන්ද පවසන්නේ ශ්‍රී ලාංකීය නාවික හමුදාව මෙවැන්නක් සිදු කළ බවට ඔවුන් විශ්වාස නොකර බවයි.

එමෙන්ම අපට ලැබුන විදේශීය තොරතුරුවලට අනුව සඳහන් වන්නේ එකී වෙඩි තැබූ බවට සඳහන් වන පතුරම ඉන්දියාවට අදාල වූ සීරියල් අංකය සටහන්ව ඇති බවයි. ඒ අනුව මෙය ඔවුන්ගේ පැත්තෙන් සිදුවූ වෙඩි තැබීමක් බවටද සැකයක් මතුවී ඇත. කෙසේ වෙතත් ඔවුන් නිවැරදි නම් අදාල තොරතුරු ලබා දීම මෙතරම් පමා කළයුතු නැත. සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙහි කිසියම් ගැටළුවක් ඇති බවයි. එමෙන්ම මේ දිනවල ඉන්දියාවේ ධීවරයින් ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල කරමින් පවසන්නේ ඔවුන් විරෝධතාවන්හි නිරතවූ දිනවලදී ඔවුන්ට සිදු වූ පාඩුව ගෙවන ලෙසටය. එමෙන්ම ඔවුන්ගේ පොදු ගැටළු ඉදිරිපත් කරමින් නිවාස ප්‍රශ්න, විවිධ දීමනා ලබාදීම, ආදියද ඉන්දීය ධීවරයින් ඉල්ලති. සියල්ල සමග අප රට සමග සිදුවූ සිදුවීමේ වාසියද ඔවුන් දේශපාලනිකව ගෙන ක්‍රියා කළ බවක් පෙනෙන්නට ඇත. එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා අතර එක් දේශපාලන පක්ෂ නායකයකු ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදේ තුන් වරක් මාලු ඇල්ලීමට ඉඩ ලබා දියයුතු බවට කරන ලද යෝජනාවක්ද දක්නට තිබිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙහි පරීක්ෂණ සිදුවන බවකි. එමෙන්ම පරීක්ෂණ වාර්තා අමාත්‍යවරයාද ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ නාවික හමුදාවෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වසර ගණනාවක් පුරාවට පවතින ධීවර ප්‍රශ්නයට ස්ථාවර පිළියමක් ලබාගැනීම් සම්බන්ධයෙන් අප යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් මාසයේ සිට ඉන්දියාවත් සමග නැවත ආරම්භ වන සාකච්ඡාවන්හිදී ධීවර ගැටළු ගැඹුරින් සාකච්ඡා කරන බවයි.

මෙලෙස ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඉන්දීය ධීවරයින් පැමිණෙන්නේ අවම වශයෙන් බෝට්ටු 400 ක් 500 ක් පමණය. කච්චතිවුහි ධීවර කටයුතු කරන බෝට්ටු හිමිකරුවකු වන ජූඩ් කුමාර මහතා පවසන්නේ මෙලෙස පැමිණෙන ඉන්දීය ධීවරයින් නිසා ශ්‍රී ලාංකීය ධීවරයින්ට තම රැකියා කර ගෙන යාමට නොහැකි වී ඇති බවය. ඉන්දීය ධීවර යාත්‍රා නිසා ශ්‍රී ලාංකීය ධීවරයින් එලන දැල් කැඩීයන බවත් ඉන්දීය ධීවරයින් කෙසේ හෝ උපාය මාර්ග අනුගමනය කර ශ්‍රී ලංකික මුහුදේ මලු අල්ලන බවත්ය.අපවෙත අදහස් පළකළ ධීවරයින් බොහොමයක් මේ ගැටලුව නිසා දැඩි ලෙස අසරණව සිටී. එමෙන්ම ඩෙල්ෆ් දුපතේ ධීවරයෙකු අප සමග පැවසුවේ එහි ධීවර පවුල් 1500 කට වඩා ඇති බවයි. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණ මේ ආකාරයෙන් මාලු ඇල්ලීම නිසා දූපතේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයන්ගේ ජිවිත කඩාවැටෙමින් තිබෙන බව සදහන් කරන එම ධිවරයින් තමන් මේ රැකියාව කර එදිනෙදා ජීවිතය ගැට ගහ ගන්නේද අමාරුවෙන් බව සදහන් කරයි. අපගේ ධීවරයින් එවන් ජිවිතයක් උරුම වී තිබෙන කලෙක ඒ සම්බන්දයෙන් රාජ්‍යත්‍රාන්තික වශයෙන් පිළියම් දීමේ දැවැන්ත අවශ්‍යතාවයක් මතුවී ඇත. මේ වනවිට පුරුදු ධීවර රැකියාව හැර වෙනත් රැකියාවක් කිරීමේ හැකියාවක් මොවුන්ට නැත.

මෙලෙස ඉන්දීය බෝට්ටු 500 ක් පමණ පැමිණෙන විට එ් සියල්ල MONITOR කරමින් ඒවා ඇල්ලීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සතු සම්පත් ප්‍රමාණවත්ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් බොහෝවිට මානුෂිය ලෙස සලක බලා ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවෙන් පළවා හැරීමට නාවික හමුදාව කටයුතු කරන අතර සමහර අවස්ථාවන්හිදී මානුෂිය හේතුන් මත ඔවුන් අවවාද කර යැවූ අවස්ථාවන්ද තිබේ. එවන් තත්වයකදී ඔවුන්ට මෙලෙස වෙඩි තබන්නට නාවික හමුදාව කිසිසේත් උත්සහ නොකරන බවයි ධීවරයන් පවසන්නේ.

මේ වනෙවිට නාවික හමුදාවේ තාක්ෂණික පැති බොහොමයක් දියුණු වී තිබේ. ඒ අනුව ඕනෑම අවස්ථාවකදී මුහුදේදී වුවද නාවික හමුදාපතිවරයාව සම්බන්ධ කරගැනීමේ පහසුකම් පුළුල් කර ඇති අතර කිසියම් වෙඩිතැබීමක් සිදු කරනවා නම් ඒ සඳහා අනිවාර්යෙන්ම නාවික හමුදාපතිවරයාගේ අවසරය ගත යුතුය. සිද්ධිය වූ දිනයේදී එලෙස දැනුම්දීමක් නාවික හමුදාපතිවරයාට ලැබී නැත. ඒ අනුවද නාවික හමුදාපතිවරයා සදහන් කරන්නේ මෙවන් වෙඩි තැබීමක් සිදු නොවූ බවයි.

ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ආශිර්වාදය ධීවරයින් මෙන්ම නාවිකයින් ඇතුළු මුහුදට යන ඕනෑම අයෙක් විශ්වාස කරන්නකි. කොළඹ කොච්චිකඩේ හැරුණු විට කච්චතිවුහි ඇති ශාන්ත අන්තෝනි පල්ලියේ මංගල්‍ය බෙහෙවින්ම සුවිශේෂී වන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා ඉන්දීය ධීවරයින් පැමිණෙන නිසාය. රටවල් දෙකක් එකතුවී පවත්වන එකම දේව පුජාව ලෙසටද මෙය හැඳින්විය හැකිය. නමුත් මෙවර මෙම මංගල්‍යට ඉන්දීය ජනතාව නොපැමිණියේ පසුගියදා ඉන්දීය ධීවරයකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතිවූ විරෝධතාවයන් නිසාය. ඒ අනුව ඔවුන් මංගල්‍යයට දින කිහිපයකට උඩදී පැවසුවේ මංගල්‍යට ඉන්දීය ජනතාව නොපැමිණෙන බවයි. එමෙන්ම මංගල්‍ය දින මෙහෙයට සහභාගිවීමට පැමිණි ඉන්දීය ජනතාවටද විරෝධතාකරුවන් සහභාගිවීමට ඉඩ ලබා දී නැත. ඒ අනුව බෝට්ටු හිමිකරුවන්ටද පුජාවට පැමිණීමට ඔවුන් ඉඩ ලබා දී නැත. උතුරේ දමිළ ජනතාව මෙන්ම ඉන්දීය ජනතාව නෑදෑ හිතවතුන් වාර්ෂිකව එකට හමුවන උත්සවයක් ලෙසින්ද මෙය තව පැත්තකින් අර්ථකථනය කල හැක්කේ දෙපාර්ශ්වයම මෙදින මුණ ගැහෙන නිසාය. නමුත් උද්ගතවූ තත්වය හමුවේ එදා උතුරු දමිළ ජනතාවට තම ඥාතීන් දැක ගැනීමට නොහැකිවූ අතර එලෙසම ඉන්දීය ජනතාවට ද එම අවස්ථාව අහිමි විය. ජාති ආගම් පසෙකලා සැමට එක ලෙස සලකන ජාතියක් වන ශ්‍රී ලාංකිකයින් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය දා නාවික හමුදාවේ පුර්ණ අනුග්‍රය යටතේ පැමිණි සියල්ලන්ට කෑම බීම පවා සූදානම් කර තිබිණි.

තවම අවසන් වී නොමැති මෙම ඉන්දීය ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඊට අදාල තොරතුරු ඉන්දියාවෙන් ලැබුණු පසුව මෙම පරීක්ෂණ තව දුරටත් ඉදිරියට රැගෙන යන්නට මෙයට අදාලව පත් කර ඇති නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියාගෙන් සැදුම් ලත් මණ්ඩලය බලාපොරොත්තු වේ.

අශ්වරු

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top