හපුතලේ හල්දුම්මුල්ල තවමත් මරා යටතේද ?

පසුගිය පාලන සමයේ හපුතලේ ආසනයේ සියලුම රාජ්‍ය ආයතන හපුතලේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත ලොකුබංඩාර හා හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.එම්. ධනරත්න යන අය විසින් දේශපාලන හා මැර බලය යොදවා සම්පූර්ණයෙන්ම තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරන ලදී.

මේ හේතුවෙන් ඔවුන් විසින් කිසිම අවහිරයකින් තොරව දූෂණ වංචා සිදුකර ප‍්‍රදේශයේ අසරණ ජනතාවට ලැබිය යුතුව තිබු බොහෝ දේවල් නිසි අයුරු ලබානොදී තමන්ට අවශ්‍ය ආකාරයට එම සම්පත් අවභාවිතා කර ප‍්‍රදේශයේ අසරණ ජනතාවට තලා පෙලා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී හපුතලේ ආසනයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳින් හෝ නරකින් පරාජය කර මහින්ද රාජපක්ෂව දිනවීමේ කොන්ත‍්‍රාත්තුව බැසිල් රාජපක්ෂ විසින් භාරදී තිබුනේ ආර්.එම්. ධනරත්නටය. ඔහු විසින් ජනාධිපතිවරණ සමයේදී නීතිවිරෝධී ලෙස හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ ශ‍්‍රමය හා ප‍්‍රාදේශීය සභාවේ වාහන, දේපල, ගොඩනැගිලි, උපකරණ, මුදල් යොදවා ප‍්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල යෙදෙමින් දූෂණ අක‍්‍රමිකතා රැසක් සිදුකරන ලදි.

හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයේ සංවර්ධනය සඳහා රජයේ විමධ්‍යගත අරමුදලින්, මග නැගුම ව්‍යාපෘතියෙන්, එක ගමකට එක වැඩක් ව්‍යාපෘතියෙන්, වියළි කලාපීය ජීවන උපාය සංවර්ධන වැඩසටහනින්, උඩරට ගැමි පුනරුත්ථාපන වැඩ සටහනින්, උඩරට වියළි කලාපීය ජීවනෝපාය සංවර්ධනය කිරීමේ හා වෙනත් ව්‍යාපෘතිවලින් පසුගිය රජය සමයේ මිලියන ගනනාවක ප‍්‍රතිපාදන ලබාදී ඇත. හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.එම්. ධනරත්න විසින් තමන්ගේ ලඟම ඥාතින් හා හිතවතුන් යොදවා හරන්කහව පැරකුම් ගොවි සංවිධානය, හරන්කහව ග‍්‍රාම සංවර්ධන සමිතිය හා හරන්කහව සමෘද්ධි බලකාය වැනි සංවිධාන ආරම්භකරන ලදී. මෙම සියලුම අරමුදල්වලින් සිදු කලයුතු ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් මෙම සංවිධාන වෙත ලබාදී ඇත. ප‍්‍රාදේශීය සභාවට අයත් ට‍්‍රැක්ටර් රථයෙන් එම ඉදිකිරීම් සඳහා භාණ්ඩ ප‍්‍රවාහනය කිරිම සිදුකර ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් හා මුරකරුවන් යොදවා ඉදිකිරීම් කර ඇත. මෙම සේවකයන් රාජකාරියට වාර්තාකර පැමිනීමේ ලේඛනය අත්සන් කිරීමෙන් පසු අදාල ව්‍යාපෘති සඳහා යොදාගෙන ඇති බව සමස්ත ප‍්‍රාදේශීය සභාවම දනී. මෙමගින් විශාල මුදල් ප‍්‍රමාණයක් වංචා කර ඇත.

ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් හා මුරකරුවන් ඉදිකිරීම් සඳහා පුහුණු හා නිපුණතා ඇති අයවලුන් නොවීමේ හේතුවෙන් එම කාර්යයන් නියමිත ප‍්‍රමිතියකින් තොරව නිමකර ඇත. මේ දූෂිත ක්‍රියාවන් පිලිබඳව පෙන්වාදුන් ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුට ආර්.එම්. ධනරත්න විසින් මරණීය තර්ජන එල්ලකර බියගන්වා ඔහුව නිහඬ කර ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ පරීක්ෂණයට ලක්වු නියමිත ප‍්‍රමිතියකින් තොරව නිමකර තිබු ඉදිකිරීම් සදහා මුදල් නොගෙවන ලෙස උපදෙස් ලබාදි තිබිණි. හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් ශාන්තිනි ජයසේකර මහත්මිය මේ පිළිබඳව දැන්වූ පසු ආර්.එම්. ධනරත්න විසින් ඇයගේ කාර්යාලයේදි ඇයට පරුෂ වචනවලින් බැනවැදී මුදල් ගෙවන ලෙසට තර්ජනය කර සහකාර සැලසුම් අධ්‍යක්ෂට පහර දී ඇත.

හල්දුම්මුල්ල නගරයේ පිහිටුවා තිබූ වසර සිය ගනනක් පැරණි පුරාවස්තුවක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම්කර තිබු වීථි පහන් කණුව ආර්.එම්. ධනරත්න විසින් රාත්‍රියක හොර රහසේම ගලවාගෙන ගොස් විශාල මුදලකට අලෙවි කිරීමට සැරසී ඇත. මේ පිළිබඳ තොරතුරු ලබාගත් හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ ජාතික උරුමයන් හා පොදු දේපල සුරැකීමේ සංවිධානය විසින් මේ වංචාව පිලිබද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත දැන්වීමෙන් පසු පහන් කණුව නැවත තිබු ස්ථානයේම පෙර පරිදි ස්ථාපනය කරන ලෙස නියෝග ලබාදී ඇත. ආර්.එම්. ධනරත්නගේ දේශපාලන හා මැර බලයට යටත් නොවී මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාකිරීම වෙනුවෙන් ප‍්‍රදේශයේ ජනතාවගේ ගෞරවය හා ස්තුතිය එම සංවිධානය වෙත පිරිනැමිය යුතුය.

තමන් සිදුකර ඇති වංචාවන් පිළිබඳව යහපාලන රජයෙන් දඬුවම් ලැබෙියැයි සැකයෙන් හපුතලේ සංවිධායක සුමිත් සමයදාස මහතා මාර්ගයෙන් රජයට සම්බන්ධවීමට උත්සාහ කළද මොහුගේ අතීතය පිලිබදව දන්නා නිසා සුමිත් සමයදාස මහතා විසින් මොහුව ඈත්කර තබා ඇත. දැන් ඌවේ ඇමතිවරයෙකුට හා මහ ඇමතිට කිට්ටුවීමට උත්සාහ කරනු ලැබේ. මොහුව ලංකරගතහොත් ඒ කිසිවකුට ඉදිරි ඡන්දයකදී කිසිම මනාපයක් ලබා නොදෙන බව හාල්අටුතැන්න, සොරගුනේ, හරංකහව, වෑඑළිය, පතහ හා හල්දුම්මුල්ල ගම්වාසීන් ප‍්‍රකාශ කර ඇත.

ආර්.එම්. ධනරත්න විසින් සිදුකළ විවිධ අකටයුතුකම් පිළිබඳව ප‍්‍රදේශවාසීන් විසින් හපුතලේ පොලිසියට පැමිණිළි රාශියක් කර ඇත. නමුත් හපුතලේ පොලිසියේ දූෂිත නිළධාරීන් විසින් ආර්.එම්. ධනරත්නගේ මුදලට හා නිල බලයට යටත්වී පැමිණිළිකරුවන්ට කිසිදු සහනයක් ලබානොදී ඔවුන් කිහිපවරක් පොලිසියට ගෙන්වා රස්තියාදු කර එවුන්ට එපාවී පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා තත්වයට පත්කළ අවස්ථා බොහෝය. හපුතලේ හා හල්දුම්මුල්ල පොලිසිවල රාජකාරි කරන බොහෝ නිළධාරීන් මෙම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් නිසා අදටත් ආර්.එම්. ධනරත්නගේ මුදලට, මැර බලයට හා දේශපාලන බලයට යටත්වී සිටී.

පසුගිය දිනක හිටපු ජනපතිගේ හපුතලේ සංචාරයේදි ආර්.එම්. ධනරත්න විසින් ආරක්ෂකයන්ට සොරගුනේ දේවාලයේ බස්නායක නිළමේගේ හෝටලයේ නවාතැන් ලබාදි මීට අමතරව රැස්වීම්වලට සහභාගි වූ අයට ආහාර පාර්සල් ලබාදෙන ලදී. මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක තනතුර ලබාගැනීමේ චේතනාවෙන් උදිත ලොකුබංඩාරට නැවත හපුතලේ ආසන සංවිධායක තනතුර ලබානොදෙන ලෙසත් ඔහුව පත්කළහොත් පක්ෂයෙන් ඉවත්වන බවත් ආර්.එම්. ධනරත්නගේ අනුගාමිකයන් ලවා හිටපු ජනපතිට පවසා ඇත. වත්මන් රජය ඉක්මනින් පෙරළා දමා මහින්ද රාජපක්ෂ පිහිටුවන රජයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට හෝ හපුතලේ මන්ත‍්‍රීකමට පත්වන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශකර හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට, හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවට, හල්දුම්මුල්ල ගොවිජන සේවා කාර්‍යාලයට සහ හපුතලේ පොලිසියට බලපෑම් කිරීම ආරම්භ කර ඇත.

ප‍්‍රදේශයේ සාමාන්‍ය පවුලකින් පැවත එන ආර්.එම්. ධනරත්න විසින් සභාපති නිළකාලය තුළ විශාල මුදල් ප‍්‍රමාණයක් දූෂණ වංචා මගින් උපයා ඇත. හල්දුම්මුල්ලේ හා මහරගම දෙමහල් නිවාස, අලුත්වෙල ඉඩම් අක්කර 25, සුඛෝපභෝගි වාහනය, ටිපර් රථය හා ට‍්‍රැක්ටර් රථය මෙසේ උපයාගත් මුදලින් ලබාගත් දේපල කිහිපයකි. මෙම වංචාවන් පිළිබඳව හා ආර්.එම්. ධනරත්න විසින් සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවන් පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු ලිපිගොනු පරීක්ෂාවකට කැඳවිමක් කර පරික්ෂණයක් සිදුකිරීමට උත්සාහ කළද දේශපාලන බලපෑම් නිසා මෙම පරීක්ෂණ සියල්ල යටපත් වී ඇත. යටපත් වී ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top