Untitled 1

ලසන්ත ඝාතනයට හෙන්දාවිතාරණ සම්බන්ධ බව නීතිපති පිළිගනී

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම පිළිබඳ නඩුව අද (20) කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාව මත පදනම් වෙමින් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමක් සිදු කොට තිබේ. ඒ අනුව ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරන ලද්දේ ද 'නේශන්' පුවත්පතේ කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීමට සම්බන්ධ රාජ්‍ය බුද්ධි අංශයේ කණ්ඩායම ම බව හෙළිදරව් වී තිබේ.

මෙසේ 2009 ජනවාරි 08 දින ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සඳහා යොදවාගෙන ඇත්තේ හමුදාවේ මිනීමරු කල්ලිය ( Killer Group ) ය. මෙම කල්ලිය සේවයෙහි යෙදවූ මේජර් ජනරාල් අමල් කරුණාසේකරට අණ දී ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ විසිනි. හෙන්දාවිතාරණට අණ දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ විසිනි.

මෙම අමල් කරුණාසේකර, කපිල හෙන්දාවිතාරණ සහ ගෝටාබය රාජපක්ෂ යන අපරාධකරුවන් තුන් කට්ටුව අත් අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රජයේ ඉහළින් ම එල්ල වන බලපෑම් නිසා ය. ලංකාවේ දැනට පවතින පාලනයේ ස්වභාවය අනුව එදා තමන් කළ සොරකම් හෙළිදරව් වීම වැළැක්වීම උදෙසා මාධ්‍යවේදීන් ඝාතනය කර වූ නීච නින්දිත පාහර අපරාධකරුවන් ද වැටෙන්නේ 'රණවිරු' කොටසට ය. කෙසේ වෙතත් එල්ලවන බලපෑම් හමුවේ වුවද පළමු බාධකය ජය ගනිමින් මේජර් ජනරාල් අමල් කරුණාසේකරව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නුදුරේදී ම ගෙන්වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top