1150 x 80 px

නාමල්ගේ Name Card එක කීත් නොයාර්ගේ පර්ස් එකේ තිබිලා

මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතා පැහැරගෙන ගොස් පහරදීමට අදාල සැකකරුවන් අතරින් දෙදෙනෙකු හඳුනාගැනීමට පසුගිය 12 වනදා පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී ඒ මහතා සමත් විය. මෙසේ හඳුනාගනු ලැබූයේ මරදාන ට්‍රිපොලි කඳවුරේ සේවය කළ හේමචන්ද්‍ර පෙරේරා සහ ප්‍රභාත් දුමින්ද වීරරත්න යන බුද්ධි අංශ කෝප්‍රල්වරුන් දෙදෙනෙකි. මේ පිළිබඳව පරීක්ෂණ වලදී හෙළිදරව් වී ඇත්තේ 'ද නේශන්' කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළ පිරිසට ඔහුගේ මුදල් පසුම්බියේ තිබී නාමල් පෙරේරා මහතාගේ නම සඳහන් කාඩ් පතක් හමු වීමෙන් පසුව මෙසේ නාමල් පෙරේරා මහතාව ද පැහැරගෙන ඇති බවයි.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට දරුණු ලෙස පහර දුන් පිරිස ඔහුගේ මුදල් පසුම්බිය සෝදිසි කිරීමේ දී එවකට ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයාව සිටි මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාගේ නම් කාඩ්පතක් හමු වී ඇති අතර ඉන් පසුව නාමල් පෙරේරා මහතා පිළිබඳව කීත් නොයාර්ගෙන් ප්‍රශ්න කර තිබේ. තමන්ව පැහැරගෙන ගොස් පහරදීම පිළිබඳව කීත් නොයාර් මහතා විසින් පොලීසියට කළ පැමිණිල්ලෙහිද මෙම කාඩ්පත පිළිබඳව ඔහු සඳහන් කර ඇත.  2008 මැයි මාසයේ කීත් නොයාර් පැහැරගැනීමට ලක් වූ අතර 2008 ජුනි මාසයේ දී නාමල් පෙරේරා පැහැර ගැනීමට ලක් වීය.

දැනට උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට සිදු කෙරුණු පහරදීම් පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ වල දී පසුගිය රාජපක්ෂ භීෂණ යුගයේ මාධ්‍යවේදීන් පැහැර ගැනීමට, පහර දීමට, ඝාතන කිරීමට යොදවා තිබුණු හමුදා බුද්ධි අංශ කල්ලියක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වී ඇති අතර එය ක්‍රියාත්මක කෙරී ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ යටතේ බවද හෙළිදරව් වී තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top