Untitled 1

ලංකා නිව්ස් වෙබ් තහනම ඒකාබද්ධයෙන් දීර්ඝ කරයි !

පසුගිය රාජපක්ෂ දූෂිත පාලනය යටතේ 'ලංකා නිව්ස් වෙබ්' වෙබ් අඩවිය වසර 6ක් පුරාවට පැවතුනේ ශ්‍රී ලංකාව තුළ පිවිසුම් තහනමකට ලක්ව ය. ඒ කාලය පුරාවට ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවිය නැරඹීම සඳහා පාඨකයින්ට විකල්ප ක්‍රම භාවිතා කිරීමට සිදුවිය. එකී මර්ධනකාරී රාජපක්ෂ පාලන තන්ත්‍රය යළි පිහිටුවීම සඳහා අටවාගත් අටම්පහුරක් වන ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ට බලය නොමැති මේ මොහොතේ පවා ලංකා නිව්ස් වෙබ් මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ කටයුතු වලට අවහිර පමුණුවා තිබේ.

ලංකා නිව්ස් වෙබ් සිය මාධ්‍ය කටයුතු ආරම්භ කළේ 2009 වසර මුල් භාගයේ ය. පැවති රාජපක්ෂ රෙජීමයේ දූෂණයට සහ භීෂණයට එරෙහි මාධ්‍ය භාවිතාවක නියැළුණු හෙයින් මාස 3ක් ගතවන විට ම ශ්‍රී ලාංකේය පාඨකයන්ට අප වෙබ් අඩවියට පිවිසීම අවහිර කරමින් 'ලංකා නිව්ස් වෙබ්' තහනම් කෙරිණි.

මෙම තහනම අවසන් වූයේ දූෂිත රාජපක්ෂ රෙජීමය ජනතාව විසින් සිය ඡන්දයෙන් පරදවා ගෙදර යැවීමෙන් ද පසුවය. බලය අහිමි වූ රාජපක්ෂලා සහ රාජපක්ෂ ගැත්තන් විසින් ඒකාබද්ධ විපක්ෂය නම් කණ්ඩායමක් පිහිටුවා ගැණුනු අතර ඔවුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමු සඳහා අප මාධ්‍යවේදීන් ද සහභාගී විය. ඔවුන්ගේ පුවත් නිවේදන පවා අප වෙබ් අඩවියෙහි පළ කෙරිණි. ඒ, ඔවුන් කෙරෙහි වන අපගේ දේශපාලන විවේචනය තිබිය දී වුව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සැළකීමක් වශයෙනි. එහෙත් තමන්ගේ බලය මිස අන් යමක් කිසිදා නොසැලකූ රාජපක්ෂ පවුල් ව්‍යාපාරය සහ එහි ඇච්චන් බැච්චන් සමූහය පසුගියදා ඔවුන්ගේ මාධ්‍ය හමුවක් වාර්තාකිරීමට ගිය ලංකා නිව්ස් වෙබ් මාධ්‍යවේදීන් ආපසු හරවා එවා තිබිණි.

ඔවුන්ගේ මාධ්‍ය හමුව ආවරණය කිරීමට අප මාධ්‍යවේදීන්ට ඉඩදිය නොහැකි බව පවසා ඊට හේතු දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය අංශයේ පුද්ගලයකු පවසා තිබුණේ "මේකයි මචං, මගෙ නම් කිසිම අවුලක් නැහැ. ඒත් දන්නෙ නැද්ද ? අපෙ ලොක්කලා කැමති නෑනෙ. විශේෂයෙන් දිනේෂ් ලොක්කා. බලපල්ලා පහුගිය දවස් වල උඹලා මිනිහගෙ කේස් අම්බානෙක ඇද්දානෙ, බැට්‍රි දාපු පූසෙක් වගෙ කෑගහ ගහ හිටපු මිනිහා දැන් සද්ද නෑ. ඉතිං උඹලා එනවට කැමති වෙයි යෑ .." යනුවෙනි.

කලක් මාධ්‍ය මර්ධනය පිළිබඳව ලෝකය ම ඉදිරියේ කුප්‍රකටව සිටි රාජපක්ෂ රෙජීමයේ ඉතුරු බිතුරු අංගෝපාංගයන් අද බලය නොමැතිව පුටුවෙන් වැටී හොට බිම ඇණී සිටියදී පවා තමන්ව විවේචනය කරන මාධ්‍ය වලට සලකන්නේ මේ ආකාරයෙන් ය. ප්‍රශ්නය මේ පිරිස රටට සුබ අනාගතයක් තනා දෙන්නට නැවතත් බලය ඉල්ලා සිටීමය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top