Untitled 1

පොලිස්පතිට එරෙහිව සුළු සේවකයකුගෙන් අයිතිවාසිකම් පෙත්සමක් !

පොලිස්පති පූජිත ජයසුන්දර සිය තනතුරට පත් වූ දා පටන් නොයෙකුත් විකාරරූපී ක්‍රියාවන් මිස වැදගැම්මකට ඇති දෙයක් නොකළ තරම් ය. සමාජයේ කැපී පෙනීම සඳහාත් ඉහළ බලධාරීන්ගේ සිත් දිනාගැනීම සඳහාත් ඉහවහා ගිය උනන්දුවකින් යුතුව අධි රංගනයේ යෙදුණු පොලිස්පතිවරයා මෙවර හොට පටළාගෙන ඇති බව වාර්තාවේ. ඒ, පොලිස් මූලස්ථානයේ ම සේවය කරන සුළු සේවකයකුට ප්‍රසිද්ධියේ පහරදීම හේතුවෙනි.

ශ්‍රී ලංකා පොලීසියේ වසර 150ක ඉතිහාසය ම පිරී ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කලු පැල්ලම් වලිනි. කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිට මහමඟ දී මිනිසුන්ට පහරදීම දක්වා නොයෙක් පරාසයන්හි මෙම පරපීඩාකාමුක හැසිරීම් ව්‍යාප්ත වී ඇත. අත් අඩංගුවේ පසුවූ පුද්ගලයින්ට දරුණු ලෙස පහර දීම, එසේ පහර දී බොරු සාක්ෂි ලබාදෙන ලෙස බලපෑම් කිරීම මෙන් ම අත් අඩංගුවේ සිටි පුද්ගලයින් පහර දී ඝාතනය කිරීම පිළිබඳව පොලිසියට එරෙහි චෝදනා විශාල වශයෙන් තිබේ. මෙසේ අපකීර්තිමත් පොලිස් ඉතිහාස පොතට අලුතින් ම එක් වූයේ පොලිස්පති වරයා විසින් පොලිස් මූලස්ථානය තුළදී ම සුළු සේවකයකුට පහරදීමේ නින්දිත ක්‍රියාවයි.

පොලිස්පතිවරයා විසින් හඳුන්වා දී ඇති භාවනා වැඩසටහන යටතේ සියළු ම පොලිස් නිලධාරීන් උදෑසන 8.30 සිට 8.45 දක්වා භාවනා කළ යුතුය. ඔහුගේ නියෝගය අනුව අදාල විනාඩි 15 තුළදී සියළු රාජකාරි නවත්වා භාවනාවේ යෙදිය යුතුය. මෙම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරීමට ඔහු විසින් පත්කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ ය. කෙසේ වෙතත් පසුගිය දිනෙක පොලිස්පති පූජිත ජයසුන්දර තමා ම මෙම භාවනා වැඩසටහන පරීක්ෂා කිරීමට පොලිස් මූලස්ථානයේ චාරිකාවක නිරත වී ඇත. එවිට පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන යන්ත්‍රයේ ( Lift ) සේවයේ නියුතු එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයා භාවනාවෙහි නොයෙදී තම එදිනෙදා රාජකාරිය ඉටු කරමින් පොලිස් මූලස්ථානයට යන එන උදවියගේ ගමන් පහසුව සඳහා යන්ත්‍රය ක්‍රියාත්මක කරවන අයුරු දුටු පොලිස්පතිවරයා කෝපාවිෂ්ට වී බණ්ඩාරව එතැනින් ඇදගෙන අතින් පයින් පහර දී තිබේ. ඒ, ඔහුගේ නියෝගය පරිදි භාවනා නොකිරීමේ වරදට ය.

තමන්ගේ සිංහල බෞද්ධකම රටට පෙනෙන්නට කොඩියක් සේ වනන්නට පූජිත ජයසුන්දරට ඇත්තේ පුදුමාකාර වුවමනාවකි. එය පසුගිය කාලය පුරාවට ඔහුගේ හැසිරීම් වලින් පැහැදිලි විය. එහෙත් පූජිත එසේ අවිහිංසාවාදී බුදු දහම අදහන බව ලෝකයට පෙන්වීම වෙනුවෙන් අහිංසක මිනිසෙකුට නිකරුණේ පහරකෑමට සිදුවීම යනු බරපතළ ප්‍රශ්නයකි. එසේම රටේ නීතිය හා සාමය ස්ථාපිත කරවන බව කියන ආයතනයේ ප්‍රධානියා විසින් එම ආයතන මූලස්ථාන පරිශ්‍රයේදීම සුළු සේවකයකුට පහර දී හිංසාවට ලක් කිරීම යනු රටක් හැටියට ම බරපතළ ප්‍රශ්නයකි. පොලිස්පති පූජිත ජයසුන්දරට මෙම චෝදනාවෙන් ගැළ වී යාමට ඇති ඉඩ ඇහිරෙන්නේ එම පහරදීම ඒ මොහොතේ දුටු පිරිස විසින් එය වීඩියෝ ගත කර ඇති හෙයිනි.

පහර කෑමට ලක් වූ බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් පිරිසක් මේ වන විට පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සමක් අධිකරණය ඉදිරියේ ගොනු කිරීමට සියළු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ. මෙය එදා මෙදාතුර පොලිසියේ පීඩාවන්ට ලක් වූ සහ අනාගතයේ ලක් වීමට නියමිත සුවහසක් 'බණ්ඩාරලා' වෙනුවෙන් ගැනෙන මහත් ඉදිරි පියවරක් වනු ඇත. පොලිසියේ මහ කෙරුමාගේ නීති විරෝධී, මානව විරෝධී, උද්දච්ඡ පහරදීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම යනු කාකි කෝට් බෑයේ උණුසුම දරාගන්නට බැරිව අසරණ ජනතාව පීඩාවට පත් කරන පහළ පොලිස් ඉස්සන්ට කොස්සන්ට හාල්මැස්සන්ට අනාගතය වෙනුවෙන් ඉතා හොඳ පාඩමක් ඉගැන්වීමකි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top