1150 x 80 px

රටම හඬවමින් අදත් මීතොටමුල්ලේ 9ක් අවසන් ගමන් යයි!

මීතොටමුල්ල කුණු කන්දට යටව මියගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ අවසන් කටයුතු අද (17) කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.පසුගිය 14 වැනි දින පස්වරුවේ සිදු වූ මෙම ඛේදවාචකයෙන් මිය ගිය පුද්ගලයන් 29 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන තිබේ.තවත් 30 දෙනෙකු පමණ අතුරුදහන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

 

 මෙම සිදුවීමත් සමඟ මීතොටමුල්ලෙන් දැඩි දේශපාලන විරෝධයක් ගොඩනැගී ඇති අතර අද දිනයේදීත් එම ස්ථානයට පැමිණි අමාත්‍ය සාගල රත්නායක මහතාට ජනතාව හූ කියමින් ඔහුව ප්‍රතික්ෂේප කෙරුණි.එමෙන්ම පොලිස්පතිවරයාට හා යුධහමුදාපතිවරයාටද ජනතාව හූ කියමින් විරෝධය පළ කළේය.ජනතාවගෙන් නැඟුණු විරෝධය හේතුවෙන් ඔවුන්ට එම ස්ථානයේ රැදී සිටීමට නොහැකිවුණි.

කෙසේ වෙතත් අවශ්‍ය සහන සැලසීම අඛණ්ඩව සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.විපතට පත්වූවන් සඳහා වන්දි ලබා දීම මෙතෙක් තක්සේරු කර නැතත් මියගිය පුද්ගලයෙක් සඳහා රු.ලක්ෂයක රක්ෂණාවරණයක් ලබා දීමට රජය තීරණය කර ඇත.

මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාර දීම පොලීසියේ මැදිහත් වීමෙන් ප්‍රමාද කෙරෙමින් පැවතුණි.සොයා ගැනෙනා මළ සිරුරු ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ ප්‍රදේශවාසීන්ගෙන් ආණ්ඩුව ඇතුළු බලධාරීන්ට එල්ල වන විරෝධය යම් තරමකින් හෝ පාලනය කර ගැනීමට එලෙස දේහයන් භාර දීම ප්‍රමාද කෙරෙමින් පැවති බව එම ස්ථානයේ රැඳී සිටි අප හට දැනගන්නට ලැබුණි.අද උදෑසන 8.00 පමණ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ අවසන්ව තිබූ දේහයන් තුනක් ඥාතීන්ට භාර දෙනවිට පස්වරු 2.00ත් පසුවී තිබුණි.උදෑසන 8 පමණ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ අවසන්ව තිබූ හෙයින් ප්‍රදේශවාසීන් සැලසුම් කර තිබුණේ උදෑසන 10 පමණ වන විට එම දේහයන් වල අවසන් කටයුතු සිදුකිරිමටය.ඊට සමගාමීව මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විරෝධතාවක්ද සංවිධානය කර තිබූ අතර එම විරෝධතාව මඟහැරීමද බලධාරීන්ගේ සැලසුම වී තිබූ බව දැනගන්නට ලැබුණි.දේහයන් ඥාතීන්ට භාර දීම ප්‍රමාද කිරීමට එය හේතුවක්ව තිබූ බවයි අනාවරණ වුයේ.

මේ අතර සියලුම දේහයන් සීල් කර තිබූ අතර බාහිර හානියක් නොවුණු දේහයන් හෝ විවෘත කිරීමට ඉඩ දී තිබුණේ නැත.එහෙත් ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් එය නොසලකමින් බාහිර හානියක් නොවී තිබුණු දේහයන් විවෘත කර තිබූ ආකාරය දැකගන්නට ලැබුණි.ප්‍රදේශවාසීන් පැවසුවේ හැකි හැම අයුරින්ම නැගෙන ජනතා විරෝධය මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කර තිබූ බවයි.

නිශාන්ත ප්‍රියදර්ශන

 

 

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top