1150 x 80 px

මීතොටමුල්ල සිද්ධියට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගේන්න - සිසුන් උද්ඝෝෂණයේ

මීතොටමුල්ල කැළි කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට වගකිවයුතු සියලු පාර්ශව නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව කියමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද (19) ගලහ හන්දිය අසල සිට උද්ඝෝෂණයේ නිරත වූහ.


කැළිකසල කන්ද ඉවත් කළ යුතු බව කියමින් හඩ නැගූ ජනතාවට මැර ප්‍රහාර එල්ලකළ පිරිස් අද ඔවුන් වෙනුවෙන් කිඹූල් කදුළු හෙළන බවත් කදුලු වැගිරීමට වඩා කළ යුත්තේ ජනතාව සදහා ස්ථිරසාර විසදුමක් ලබාදීම යැයි විරෝධතාවට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කාර ලහිරි වීරසේකර මහතා කියා සිටියේය.
කැළි කසල කන්ද ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රියාකළ සියලු පාර්ශවයන් මර්ධනය කිරීමට රජයන් උත්සහ කළ බව සදහන් කළ ලහිරු වීරසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය.
මීතොටමුල්ල කැළි කසල කන්ද නිධානයක් බවට පත් කර ගැනීමට පාලකයන් කටයුතු කළා. ඔවුන් ඒ තුළින් විශාල ආදායම් ලැබුවා. කොළඹ සංවර්ධනය කරනවා යැයි කියමින් ජනතාව පීඩාවට පත් කරමින් ලාභ ලැබූවන් වහා නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුයි.
අහිංසක ජනතාවගේ ඉල්ලීම්වලට විසදුම් ලබා නොදී නිද්‍රාශීලි පිළිවෙතක අනුගමන කළ නිසයි මෙවැනි විපතක් සිදුවුණේ. පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද මෙම කණගාටුදායක සිද්ධියට වගකිව යුතුයි.
කැළකසල කන්ද කඩා වැටුණුපසු ජනතාව මුදා ගැනීමට බැකෝ යන්ත්‍ර සපයා ගැනීමට පවා හැකියාවක් මෙම ආණ්ඩුවට තිබුණේ නැහැ. සෙබලුන් විශාල ප්‍රමාණයක් ස්ථානයට පැමිණියත් ඔවුන් සතුව එක් සවලක් හෝ නොතිබුණ නමුත් තුවක්කු නම් තිබුණා. ජනතාව මුදා ගැනීමට නොමැති බැකෝ යන්ත්‍ර මළ මිනී වැළලීම සදහා පැමිණ තිබෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කාර ලහිරු වීරසේකර මහතා කියා සිටියේය.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ සිසුවා ද මෙහිදී අදහස් පළ කළේය.
මහා ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධානයෙන් පැයකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතාව හේතුවෙන් මහනුවර කොළඹ මහා මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබුණි. විරෝධතාව සදහා සියලු පීඨ නියෝජනය කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහභාගී වී සිටියහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top