Untitled 1

සිසුන් අතුරුදන් කරවූ හෙට්ටිආරච්චිත් අතුරුදන්ද ?

පාසැල් සිසුන් පස් දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අවශ්‍ය වී ඇති ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි නමැති නාවික හමුදා නිලධාරියා මේ වන විට සොයා ගත නොහැකි තත්වයක් උද්ගත වී තිබේ. ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාවික හමුදාපතිවරයාගෙන් කිහිප වතාවක් ම ඉල්ලීම් කර තිබියදී සහ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන මෙන් අධිකරණය විසින් ද නාවික හමුදාපතිවරයාට නියෝග කර තිබියදීත් හෙට්ටිආරච්චි නම් නිලධාරියා මෙසේ සැඟ වී සිටීමට සමත්ව ඇත.

2008 වසරේ දී සිසුන් පස් දෙනෙකු අතුරුදන් කරවීම සහ 2010 වසර වනතෙක් කාලය තුළ තවත් පිරිසක් පැහැරගෙන යාම සහ අතුරුදන් කරවීම සම්බන්ධයෙන් නාවික හමුදා කණ්ඩායමක් පිළිබඳව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වයි. කප්පම් ගැනීම සඳහා මෙසේ පුද්ගලයින් පැහැරගෙන යාම පිළිබඳව මෙතෙක් කෙරී ඇති පරීක්ෂණ අනුව මෙම අපරාධයන් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ සහ වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ගේද නම් ගෑවී තිබීම මෙසේ හෙට්ටිආරච්චිව වසන් කිරීමට හේතුව වී ඇතැයි සැකයක් පවතී. අඳිකරණ නියෝගයකට පවා පිටුපාමින් නාවික හමුදාපතිවරයා විසින් හෙට්ටිආරච්චි නම් නිලධාරියාට සැඟවී සිටීමට ඉඩ හැරීම මෙම සැකය දියුණු තියුණු කරවන්නක් වී තිබේ. කෙසේ වෙතත් අදාල සැකකරුවාව රටින් පිටකර ඇති බවට ද තොරතුරු වාර්තා වෙමින් තිබේ. යුද්ධයේ මුවාවෙන් 'සුද්දය' දෙමින් අතමිට සරුකරගත් නාවික හමුදා තෝරුන් මෝරුන්ද ළඟදීම එළිදරව් වීමට නියමිතව ඇත.

ජනපතිට මල් මිටක්

මේ අතර පසුගිය දිනක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය නාවික හමුදාපතිවරයා විසින් උක්ත කී අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව සිහිපත් කර තිබේ. ඒ මොහොතේ ජනපතිවරයා පවසා ඇත්තේ "නාවික හමුදාපතිතුමෝ, මට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. කොහොමත් රණවිරුවෝ කවුද රණවිරු නමට මුවා වෙලා වෙන වෙන දේවල් කරපු අය කවුද කියලා තේරුම් ගන්න මට දැන් සිද්ද වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ පරීක්ෂණ වලට අත දාන්න මට කොහොමටවත් බෑ" යනුවෙනි.

ජනපතිවරයාගේ මින් පෙර ප්‍රකාශ හා සසඳා බැලීමේදී ඔහුගේ වත්මන් ප්‍රවේශය බෙහෙවින් අගය කළ යුතුව ඇත. යුද්ධයේ නාමයෙන් නොයෙකුත් අපරාධයන්හි නියැළුණු නිලධාරීන් සුද්ධ කිරීමට යාමෙන් සිදුවනු ඇත්තේ රටක් ලෙසම අපවාදයට ලක් වීම පමණි. රටෙහි නායකයා ලෙස ජනපතිවරයා මෙසේ අපරාධකරුවන්ට දඬුවම් ලැබිය යුතු බව සිතන්නේ නම් එසේ ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ සලසන්නේ නම් එය ජාත්‍යන්තර තලයෙහි ශ්‍රී ලංකාවට මහත් සහනයක් වනු ඇති අතරම අදාල ආරක්ෂක අංශවල ද ගෞරවය ඉන් ආරක්ෂා වනු ඇත. කොල්ලකරුවන්, කප්පම්කරුවන්, මිනීමරුවන් ආරක්ෂා කිරීම රාජ්‍ය නායකයකුගේ වගකීමක් නොවේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top