Untitled 1

ජනපතිගේ කැබිනට් සංශෝධනය මහින්දගේ වුවමනාවක්ද?

මේ දින කිහිපය ගෙවෙන්නේ වෙසක් ප්‍රීතියත් සමඟින්ය.ඒ නිසාවෙන්ම දේශපාලන පිටිය ජනතාවට  තරමක් දුරය.නමුත් ඒ දේශපාලන පිටිය හුදෙකලා නැත.එහි දේවල් සිදුවෙමින් තිබේ.පසුගිය සති කිහිපයේම අසන්නට ලැබුණේ අද හෙටම කැබිනට් සංශෝධනයක් සිදු වීමට නියමිත බවය.එම සාකච්ජාව නැවත වටයකින් අළුත් වෙමින් තිබේ.දැනගන්නට ඇති  පරිදි නුදුරේදීම ඔය කියන කැබිනට් සංශෝධනය සිදුවීමට නියමිතය.නමුත් දැන් මතු වන ප්‍රශ්නය වන්නේ මේ මොහොතට කැබිනට් සංශෝධනයක් අවශ්‍යයද යන්නයි.

රාජපක්ෂ පාලනය පාලනය පරදා බලයට පත්වූ "යහපාලන" ආණ්ඩුවේ මේ ගෙවෙන්නේ දෙවෙනි වසරයි.රටේ පරිච්ජේදයක් වෙනස් කළ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට "යහපාලන" දේශපාලන සංකල්පයට හැකි විය.නමුත් අද එය යථාර්ථයක් වී ඇත්ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.කීම සහ කිරීම අතර වන වෙනස විසින් වත්මන් දේශපාලන හසුරුවමින් හිඳියි.එහෙයින් ජනාධිපතිවරයාටද දැන් කළ යුත්ත හා නොකළ යුත්ත බේරා ගැනීම ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

නුදුරේදීම සිදුවීමට නියමිත කැබිනට් සංශෝධනයේදී රවී කරුණානායක,මංගල සමරවීර,සාගල රත්නායක හා මලික් සමරවික්‍රම සමරවික්‍රම යන ඇමතිවරුන්ගේ ඇමතිධූර වෙනසකට ලක් වන බව දැනගන්නට තිබේ. මේ සිව් කට්ටුවේම ඇමතිධූර ලේසි පහසු ඒවා නොවේ.එහෙයින් මේ පිළිබඳ විවිධ මතවාදයන් සමාජගත වෙමින් තිබේ.එකිනෙකාගේ දේශපාලන න්‍යාය පත්‍ර පසෙකින් තබා මේ මොහොත ගැන සිතුවා හොත් මේ කියන කැබිනට් සංශෝධනයට පෙර කරන්නට බොහෝ දේ තිබේ.රට කරන්නේ තනි දේශපාලන පක්ෂයක ආණ්ඩුවක් නොවේ.මේ මිශ්‍ර ආණ්ඩුවකි.ඒ නිසාවෙන්ම මත ගැටුම් උණුසුම් වෙමින් තිබේ.අවසාන වශයෙන් තමතමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය දිනවීම   වෙනුවෙන් දරදිය අදින බවක් නම් පෙනෙන්නට ඇති බව   සඳහන් කළ යුතුය.

වීරත්වයේ හිනි පෙත්තටම නැඟ ගත් එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට කටයුතු කළේද ඔහුව අභිෂේක ගැන්වූ ජනතාවමය. මෛත්‍රී -රනිල් ජය ගත්තේ ජනතාවගේ තීන්දුව අනුවය.එදා මෛත්‍රී- රනිල්ගෙන් ජනතාව ඉල්ලු දෙයක් විය. එමෙන්ම යහපාලන නියෝජිතයන්ද 2015ජනවාරි 08 වැනිදාට පෙර ජනතාව අභියසට පැමිණ පැවසුවේ අපැහැදිලි කතාවක් නොවේ.ජනවාරි 08න් පසු සියල්ලට ප්‍රථමයෙන් කරන්නට සැලසුම් කර තිබූ දේ ජනතාව ප්‍රතික්ෂේප නොකළ හෙයින් ඊට ජනතාවගේ සහය ලැබිණි.නමුත් මේ මොහොත වන විටත් ජනතාවට සැනසෙන්නට තරම් දෙයක් වී නොමැත.ඇත්තේ හැල්මේ ගමනකි.මේ හැල්මේ ගමන පිළිබඳව වුවත් දැන් සැක  පහළ වෙමින් පැවතීම ආණ්ඩුවට සුභදායක තත්ත්වයක් නොවේ.අනෙක් පසින් ප්‍රතිගාමී බලවේගද සක්‍රීයව මදිහත් වෙමින් හිඳියි.ආණ්ඩුවේම වැඩ නිසා සතුරු කඳවුරු ශක්තිමත් වෙමින් තිබේ.ජනතාව ප්‍රතික්ෂේප කළ මහින්ද හිස ඔසවන්නේ ඇඟට පතට නොදැනෙන්නටය.මෙවන් වටපිටාවක් තුළ ජනවාරි 08 බලාපොරොත්තුව වියැකීම හැර වෙන දෙයක් නැත.මධ්‍යම හා උතුරු පළාත් සභාද දැන් ඇවිලෙමින් තිබේ.මේ ගිනි වලට පිදුරු දමනවාද නැත්නම් වතුර දමනවාද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයාය.නිකම්ම නිකම් ජනාධිපති නොව විධායක ජනාධිපතිවරයාය.

එහෙයින් ජනාධිපතිවරයා කල්පනා කළ යුත්තේ ජනවාරි 08 පොරොන්දු පිළිබඳවය.සකසා ගතයුත්තේ එකී පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය පසුබිමකි.තවත් රාජපක්ෂ කෙනෙක් හෝ රාජපක්ෂ පාලනයක් අවශ්‍ය නැත.දේශපාලනයේදී අර්බුද මතුවීම අරුමයක් නොවේ අවශ්‍ය වන්නේ සියල්ල පාලනය කිරීමේ හැකියාවයි.එසේ නොවන විට අපට ප්‍රශ්න කිරීමට සිදුවන්නේ  ජනාධිපති මෛත්‍රී නටන්නේ හිටපු ජනාධිපති මහින්දගේ පදයට අනුවද යන්නය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top