1150 x 80 px

මාස්ටර් චෙෆ් සලීහා සහ අපේ කමේ උජාරුව
‘මාස්ටර් චෙෆ් 2017’ යනු එක්සත් රාජධානියේ බීබීසී රූපවාහිනිය ඔස්සේ විකාශය වන ජනප්‍රියතම ඉවුම් පිහුම් වැඩසටහනකි. එම වැඩසටහනේදී තරගකරුවන් සහ තරගකාරියන් 63 දෙනෙක් පරදා මෙවර ජයග්‍රාහිකාව බවට පත්වුණේ 29 හැවිරිදි තරුණ වෛද්‍යවරියකි. සලීහා මහ්මුද්-අහමද් නමැති ඇය” පාකිස්ථාන සම්භවයක් ඇත්තියකි. එනම් ඇගේ දෙමාපියන් පාකිස්ථානයේ සිට එංගලන්තයට පැමිණියවුන් ය. 
වෘත්තියෙන් වෛද්‍යවරුන් වන සිය දෙමාපියන් ද සමග එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් හි ජීවත් වන ඈ කලාවක් ලෙස කෑම පිසින්නට පටන් ගෙන තිබුණේ වයස 12 දී ය. ඉක්මනින්ම එංගලන්ත කෑම අතර සම්ප්‍රදායික පාකිස්ථාන කෑම ඇගේ පවුලේ කෑම මේසයේ දැකගත හැකි විය. ඉගෙනීමේ අතිදක්ෂ ශිෂ්‍යාවක වූ ඇය” තමන් මේ ඉවුම් පිහුම් කලාවටත් පෙම් බඳින බව කෙමෙන් වටහා ගත්තීය. ඒ නිසාම වයස 15 දී පාසලේදී “වසරේ කෝකියා” (‘School Chef of the Year’) තරගයට ඉදිරිපත් ව ප්‍රථම ස්ථානය ලබාගත්තාය. ඇගේ ප්‍රියතම ආහාර පාන කලාව අතික්‍රමණය කර තිබුණේ පාකිස්ථාන” කාශ්මීර සහ පර්සියානු (ඉරාන) රස බොජුන් විසිනි.
 
විනිසුරුවරුන් මේ තරගය පුරාම කීවේ ඇගේ රස මසවුළුවල රසය ට නොපරදින පෝෂ්‍ය ගුණයක් ද ඇති බවයි. අවසන් මහා තරගයට ඇය ඉදිරිපත් කළ කාශ්මීර ක්‍රමයේ තාරා මස්” වොල්නට්” චෙරි චට්නි යනාදිය සහ එයටම ගැළපෙන අතුරුපස සංකලනය සඳහා ඇයට ග්‍රෙග් වොලස් සහ ජෝන් ටොරෝඩ් විනිසුරුවරුන්ගෙන් ඉහළම ප්‍රතිචාරයක් ලැබුණි. සලීහා කියන්නේ මේ පාකිස්ථාන රස මසවුළු තැනීමේ දක්ෂතාවය ඇගේ ජානවලම ඇති බවකි. ඒ වෙනුවෙන් ඇය ස්තූති කරන්නේ පාකිස්ථානයේ වෙසෙන සිය සීයාට සහ ආච්චිට ය. ඇගේ මවට ද රසට කෑම උයන්නට පුළුවන. “අපි අමුත්තන්ට සංග්‍රහ කරන්න හරි කැමතියි. අපේ පාකිස්ථාන මහගෙදර හැම තිස්සෙම රසට කෑම ඉදෙනවා. අමුත්තන් වෙනුවෙන් අපේ ගෙයි දොර හැමදාම ඇරලා” යි ඇය කියන්නීය. නමුත් ඇය කිසිවිටෙක සම්ප්‍රදායිකත්වයට කොටු වී මේ කලාව අත්හදා බලන්නේ ද නැත.  එනිසා විනිසුරුවරුන් ඇගේ නිර්මාණශීලී බව විස්තර කරන්නේ සම්ප්‍රදායිකත්වය සහ රස මසවුළු කලාවේ අනගාතය මනා ලෙස බද්ධ කිරීමක් ලෙස ය. මේ සියල්ලම අතරේ” ජීවිත බේරන දොස්තර රස්සාවට ඇය කිසිදා දෙවැනි තැන දෙන්නේද නැත. “කෑම පිසීම තමයි මගෙ බරපතළ විනෝදාංශය... ඒත් වෛද්‍ය වෘත්තිය තමයි මගෙ අංක එක..” යැයි ඇය පවසන්නීය. තරගයට ඉදිරිපත් වීම සඳහා ඇය සේවා මුර ක්‍රමය අසීරුවෙන් ගළපාගෙන විසල් කැපවීමක් කළාය. අනෙක් අතට ඇය ඉදිරියේදී විශේෂඥ වෛද්‍යවරියක් වීම පිණිස දැන් පුහුණු වෙමින් සිටින්නේ ජඨර-අන්ත්‍ර විද්‍යාව හෙවත් උදරය සහ බඩවැල් ආශ්‍රිත රෝගාබාධ සම්බන්ධයෙනි!! ඉතින් ඇය ආරක්ෂාකාරී ලෙස සහ පෝෂ්‍ය ගුණයෙන් යුතුව කෑම පිසින්නට උපරිම උත්සාහයක් ගන්නා බවට වෙනත් සාක්ෂියක් උවමනාද? එපමණක් ද නොවේ. ඇගේ එක් අනාගත බලාපොරොත්තුවක් වන්නේ විවිධ ජීර්ණ ආබාධ හේතුවෙන් රස ලොව අහිමිව සිටින අය සඳහා විශේෂිත වූ කෑම වට්ටෝරු නිර්මාණය කිරීමයි. කෑම පිසීම කලාවක් නම්, වෛද්‍ය විද්‍යාව, විද්‍යාවක් නම්, සලීහා කරමින් සිටින දෙයට දිය හැකි හොඳම අර්ථකථනය වන්නේ ඇය කලාවත් විද්‍යාවත් “කුළුබඩු යොදා කළතා පෙරන බව” කීමයි.
 
ඉතින් සලීහා විද්‍යාව හා කලාව එකට අනා එයින් රස බොජුනක් තනනවා වැනිය. බටහිර හා පෙරදිග අතර පාලමක් තැනුවා වැනිය. එසේ වන්නේ මෙසේ ය.
 
සලීහාගේ දෙමාපියන් වෛද්‍යවරුන් ය. ඇය ද වෛද්‍යවරියකි. එසේම ඇය විවාහ වී තිබෙන්නේ ද උස්මාන් නමැති පාකිස්ථාන ජාතික” එංගලන්තයට සංක්‍රමණය වූ වෛද්‍යවරයෙක් සමග ය. ඒ හැරුණු විට ඇය දෙහැවිරිදි පුතෙකුගේ ද මවකි. ඉතින් මෙය තනිකරම “දොස්තර පවුල” කි. වෙනත් වදන්වලින් පවසන්නේ නම් මේවා වනාහී” සාපේක්ෂව දුප්පත් ආසියාතික රටවලින් එංගලන්තයට සංක්‍රමණය වී වඩා යහපත් ජීවිත පතා වෙහෙස වී වැඩකරමින්-නේක දුක් විඳිමින් පිළිගැනීමක් සහිත සමාජ පුරවැසියන් බවට පත්වූ ආදර්ශමත් ජීවිතයන් ය. 
 
2015 වසරේ බීබීසී නාලිකාව ඔස්සේම විකාශය වන තවත් ඉතාම අනර්ඝ ඉවුම් පිහුම් වැඩසටහනක් වන “ද ග්‍රේට් බ්‍රිටිෂ් බේක් ඕෆ්” (The Great British Bake Off ) හි අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කළේ නාඩියා හුසේන් ය. ඇය බ්‍රිතාන්‍ය-බංග්ලාදේශ සම්භවයක් ඇත්තියකි. මේ තරගයේ නමේ පවා ‘ග්‍රේට් බ්‍රිටිෂ්’ හෙවත් ‘මහා බ්‍රිතාන්‍ය’ ගතිය තැවරී තිබුණත් නාඩියා තරග බිමට ආ විට ඒ කිසිවක් අදාළ වුණේ නැත. විටෙක ඈ ඉවුම් පිහුම් කළේ ද පර්දාව පැළඳ ය. එවිට පවා සුදු විනිසුරුවරුන්ට ‘මැය මුස්ලිම්. මෙතැන ඇවිත් අපේ අයගෙ තැන ගන්න හදනවා” වැනි පටු අදහස් පහළ වුණේ නැත. ඔවුන් ඇය දෙස බැලුවේ සාධාරණත්වයේ සහ සමානාත්මතාවයේ ඇසෙනි. ඔවුන් ට ඇය ද තවත් එක තරගකාරියක් පමණක් විය. අද වන විට නාඩියා තමන්ගේම වාර්තා චිත්‍රපට පවා නිපදවා තිබෙන” ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ද මාධ්‍යවේදිනියක් ලෙස සේවය කරන රූපවාහිනී නිවේදිකාවක් ද වන්නීය.   
 
සාමාන්‍යයෙන් එක්සත් රාජධානියේ මෙවැනි ඉතාම ජනප්‍රිය ඉවුම් පිහුම් රූපවාහිනී වැඩසටහන් දුසිමක්වත් දැකගත හැකිය. ඒවායෙන් සමහරක” එනම් එක්සත් රාජධානියේ රස මසවුළු ක්ෂේත්‍රයේ පතාක යෝධයන් හෝ යෝධියන් සේ වැජඹෙන්නේ අන්තර්ජාතික වශයෙන් ද කීර්තියක් ලද අනර්ඝ කෝකීන් ය. සලීහා ගේ මාස්ටර් චෙෆ් තරගයේ මෙන්ම බේක් ඕෆ් තරගයේ හෝ විනිසුරු අසුනේ වාඩි වී සිටියේ ද තනිකරම සුද්දන් ය. වෙනත් වචනවලින් කියනවා නම් “බ්‍රිතාන්‍ය අරටු” ය. නමු්ත මේ අරටු බැසි සුද්දන් ඈත පෙරදිගින් පැමිණ බ්‍රිතාන්‍ය සමාජයේ සාර්ථකත්වයට පත්වන්නට වෙර දරන මේ පෙරදිග ප්‍රාණයන්, දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස දකින්නේ නැත. මේ සුද්දෝ සමානාත්මතාවය ගරු කරති. සංස්කෘතික සහ වාර්ගික විවිධත්වයට ගරු කරති. 
 
රහස කුමක්ද? 
 
සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක මෙසේ වූවා නම් කුමක් සිදුවනු ඇත්ද? 
 
මහා ජාතිය සහ මහා ආගම ගැන උදම් අනන, මහා සංස්කෘතියක් ගැන වර්ණනා කරන “මගේ ජාතිය-පරම ජාතිය-අනෙක් ජාතිය-ජරා ජාතිය” යැයි නිග්‍රහ කරන සමාජයක මෙවන් විසල් ප්‍රචාරණයක් යටතේ පැවැත්වෙන රියැලිටි වැඩසටහනක් නිකමට පාහේ සිතින් මවාගන්න. විදේශික සම්භවයක් ඇති තරගකරුවන් ගැන අමතක කරන්න. මොවුන් දෙදෙනා අතරින් ජයග්‍රාහකයා තෝරන්නේ තනිකරම එස්එම්එස්වලින් යැයි සිතන්න. කෝටි ගණනක මුදල් ත්‍යාගයක් හෝ මොන්ටේරෝ රථයක හිමිකරු තෝරන පරම මිනුම් දණ්ඩ, එස්එම්එස් මනාපය යැයි සිතන්න. අවසන් මහා තරගයේදී කරට කර සටන්වැදී සිටින්නේ මේ පුංචි රටේ ආගම් දෙකකට හෝ ජාතීන් දෙකකට අයත් දෙදෙනෙක් නම් කුමකින් කුමක් වේවිද? බොහෝ විට සිදුවිය හැකි දේවල් මෙසේ ය. 
 
ඔවුන් දෙදෙනා අතර පවතින ජනප්‍රියත්වයේ සහ දක්ෂතාවයේ පරතරයට අමතරව තවත් වෙනස්කම් තිබේදැයි මුලින්ම අපේ රටේ හුදී ජනයා සලකා බලනු ඇත. එවිටම ඔවුන්ගේ සිහියට නැගෙනු ඇත්තේ අර ආගම් දෙකේ සහ ජාති දෙකේ පරහ ය. ඉන්පසු මේ දෙදෙනාට එස්එම්එස් බුරුතු පිටින් ගහන්නට සැදී පැහැදී සිටිනවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමික හෝ ජාතික වීරයන්/නායකයන් සේ පෙනී සිටින ‘චරිත’ හමුවීමට ගොස් ඇක්ෂන් ප්ලෑන් සාදනු ඇත. ඉන්පසු ඒ අනුව තරගයට පෝස්ටර් ද ගසනු ඇත. උදාහරණයක් වශයෙන් තිබෙන්නේ ආගම්වල වෙනසක් නම් “බුදු පුතු දිනවමු” කියා වීදියේ දකුණු පසින් පෝස්ටර් ඇළවෙන විට වම් පසින් ‘කිතු පුතු දිනවමු’ කියා වම් පසින් පෝස්ටර් ඇළවෙන්නට පටන් ගන්නවා ඇත. දූපත් මානසිකත්වයෙන් යුතු මිනිසුන් “අපේ කම” හෝ “තමන්ගේ කම” කියා නිතරම නළලේ අළවාගෙන සිටින්නේ මෙබඳු පටු අදහස් ය. කොහොම වුණත් මේ කියාගෙන ආවේ මනංකල්පිත කතාවක් පමණක් බවත් මෙවන් දෙයක් කිසි කලෙකත් මේ පුංචි රටේ සිදුනොවුණු බවත් මේ උත්ප්‍රාසයෙන්ම මෙහිම සටහන් කර තබමු.
 
ඉතින් සුදු මහත්වරුනි, අපේ රටේත් ඔබේ රටේත් වෙනස එයයි! අප ඔබ වගේ නොවේ. අපි කිසි හේතුවක් නැතිව ආඩම්බර වන රටකි!! අපට අපේ සීමාවෙන් ඔබ්බේ සිට පියඹා එන ‘පරෙයියන්’ පවා පෙනෙන්නේ ‘පරයන්‘ (පිටස්තරයන්) වගේ ය. ඒ හැඟීමට අපේ ‘පටු රට’ කියන්නේ “අපේ කම” කියා ය. ඒ “කම” ඇතුළේ අපට තවමත් අප මෙන් නොවන අය දෙස “අපේ අය” කියා සිතෙන්නේම නැත. අප වගේ නොවන අය යන්නට මෙහිදී සියලුම වෙනස්කම් ඇතුළත් ය. ඉතින් අපේ රට ලස්සන නැත්තේ ඒ නිසා ය. 
 
“අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ...?” කියා ඊයේත් අසා, අදත් අසා, හෙටත් අසන්නට අපට සිද්ධ වී තිබෙන්නේ ''එක මිනිස් යායක්'' ලෙස කල් ගෙවීමේ රසය නාඳුනන මේ කරුමය නිසා මිස වෙන යම් දෙයක් නිසා නොවේ.
 
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
 
master chef 1
master chef 2

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top