Untitled 1

වේලි ඔය කැළේ කපන්න ආශු මාරසිංහ හා උපුල් ජයසුරිය දත කයි!

වේලි ඔයේ ජල පෝෂක ප්‍රදේශ විනාශ කර ඉදිකිරීමට යෝජිත වේලි ඔය ගොල්ෆ් ක්‍රීඩා පිටිය හා හෝටල් ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ හා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය යන මහත්වරුන් කටයුතුකරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ  ව්‍යාපාරය ආනාවරණ කරයි.එම ව්‍යාපාරයේ නියෝජිත පරිසරවේදී සජීව චාමිකර මහතා සඳහන් කරන්නේ එම ව්‍යාපෘතියෙන් ගොවි පවුල් 3000ක් පමණ අවතැන් වන බවයි.

රු.මිලියන 850ක් පමණ වැය කර ක්‍රියාත්මක කළ වේලි ඔය  වාරි ව්‍යාපාරය යටතේ යල-මහා දෙකන්නයම වගා කළ බව චාමිකර මහතා පවසයි. සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628ක් එළිපෙහෙළි කර "Eco Golf Resort " නමින් ගොල්ෆ් පිටිය හා හෝටලය ඉදිකිරීමට යෝජිතය.හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්වන්ගුහාව ග්‍රාම නිලධාරි වසමේ දඩයම්පළගම ග්‍රාමයේ පිහිටි වනාන්තර මෙම ව්‍යාපෘතියට තොර ගෙන ඇති බව සඳහන්.Alpha and Omega Developers (Pvt ) Ltd  සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතය.ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට යෝජිත භූමිය උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි - ඇතුන්ගේ සුවිශේෂී වාසස්ථානයක්ද  වෙයි.

මෙම වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන එස්.එම්.ජනක රවීන්ද්‍ර කළුපහන මහතාගේ පියා විසින් වරින් වර වංචනික ලෙස විවිධ පුද්ගලයන්ට පැවරීම සිදු කර තිබේ.කෙසේ හෝ මේ වන විට යෝජිත ව්‍යාපෘතියේ යෝජකයා වන ඇමරිකාවේ පදිංචි වාසු රාසයියා ලබා ගෙන ඇත්තේ පෙර පැවරූ පුද්ගලයෙකුගෙනි.

පසුගිය පාලන සමයේදී මෙම ව්‍යාපෘතියට සහය දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතාය.වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හරහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට වාසු රාසයියා දැඩි වෙහෙසක් දරා තිබේ.කෙසේ වෙතත් හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඉහළ රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙක්ම මෙම ව්‍යාපෘතියට සහය දක්වමින් සිටින බවද සඳහන්.

මේ වන විට ආයෝජන  මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙම විනාශකාරී ව්‍යාපෘතියට සහය දැක්වීම කණගාටුදායක තත්ත්වයක් බවයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ  ව්‍යාපාරය සඳහන් කරන්නේ.

වියළි කලාපයේ ගොල්ෆ් පිටියක් ඉදිකර එය පවත්වා ගෙන යාම සඳහා විශාල ජල ප්‍රමාණයක් යෙදිය යුතු අතර යූරියා පොහොරද විශාල වශයෙන් යෙදිය යුතු වෙයි.මෙවැනි පිටියකට කෘමි උවදුරු වැඩි වශයෙන් සිදුවන අතර එය වැලැක්වීමටද අධික ලෙස කෘමි නාශක යෙදිය යුතු වෙයි.පාංශු ඛාදනය වැලැක්වීම සඳහා ඇලුමිනියම් අඩංගු සංයෝග පිටියට යෙදීමද කළ යුතු වන්නකි.ගොල්ෆ් පිටිය පවත්වා ගෙන යාමට අධික ලෙස යොදන රසායන අවසාන වශයෙන් එක්  වන්නේ වේලී ඔය ව්‍යාපාරයෙන් ජලය සපයන වැව් වලටය.එක් අතකින් මෙම ව්‍යාපෘතියෙන් ජලය දුෂණය වනවා සේ වන විනාශය මඟින් උග්‍ර ජල හිඟයක්ද ඇති වනු  ඇත.

ඒ අනුව් මෙම විනාශය වැලැක්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියත් පරසර අමාත්‍යාංශයත් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ  ව්‍යාපාරය අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top