1150 x 80 px

කැබිනට් සංශෝධනය අදද හෙටද ? - එජාප ඇමතිකම් නොවෙනස්

මාස කිහිපයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ කැබිනට් සංශෝධනය අද (18) හෝ හෙට සිදුවන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය කැබිනට් සංශෝධනයක් සිදුකිරීමේ බලාපොරොත්තුවෙන් දිගුකලක සිට කටයුතු කළ ද එජාපය දිගින් දිගටම කැබිනට් සංශෝධනය සඳහා අකමැති විය. විශේෂයෙන් මුදල් අමාත්‍යධූරය ඇතුළ ප්‍රබල අමාත්‍යධූර ගණනාවක් සංශෝධනය වියයුතු බව ශ්‍රීලනිපයේ මතයයි.

රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා

මේ අතර කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (17) ජනාධිපති නිළ නිවසේදී පැවැත්විණි. ඒ සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහභාගි වී තිබේ.

එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. එහෙත් ශ්‍රීලනිපයට අවශ්‍ය නම් ශ්‍රීලනිපය සතු ඇමතිධූර වෙනස් කිරීමට හැකි බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී රජයක් පිහිටුවීම සඳහා ජනවරම ලැබුනේ එජාපයට බවත් ඒ අනුව කැබිනට් සංශෝධනයක් සිදුකරන්නේ නම් එම තීරණය එජාපය සතු බවත් අගමැතිවරයා රැස්වීමේදී අවධාරණය කර ඇත.

එජාප ඇමතිවරුන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන්, කැබිනට් සංශෝධනයක් වෙනුවෙන් ශ්‍රීලනිපය දරන වෑයම දෙස බැලුවේ සැකමුසු බැල්මකි. ඔවුන් අගමැතිවරයාට දන්වා ඇත්තේ මේ සඳහා කිසිසේත් එකඟ නොවන ලෙසයි. ශ්‍රීලනිපය කැබිනට් සංශෝධනය හරහා එජාපය සතු ඇමතිකම් ඩැහැගැනීමට සහ එසේ නොහැකි වුවහොත් වෙනත් එජාප මන්ත්‍රීවරුන් ඒ සඳහා පත්කර පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බව එජාප බහුතර මන්ත්‍රීවරුන්ගේ මතයයි.

අගමැතිවරයා ජනාධිපති වෙත දන්වා ඇත්තේ අවශ්‍යම නම් තවත් මාස හයකින් පසුව කැබිනට් සංශෝධනයක් සිදුකරමු යන්නයි. හිටපු ජනාධිපතිනිය ද අගමැතිවරයාගේ මෙම ස්ථාවරයට එකඟ වී ඇති අතර අවසානයේ ජනාධිපතිවරයාට ද ඒ සඳහා එකඟ වීමට සිදුව තිබේ.

ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ ඩබල් ගේම්

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීම වෙනුවෙන් පෙනීසිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු ඔහු ශ්‍රීලනිපයේ නායකත්වයට පත්කොට ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත්තද සැලකිය යුතු පිරිසක් තවමත් හිටපු ජනාධිපතිවරයා වෙත සමීප සබඳතා පවත්වමින් සිටී. කැබිනට් සංශෝධනයක් අත්‍යවශ්‍ය වී ඇත්තේ මෙම පිරිසටයි. දිවා කාලයේදී ජනාධිපතිවරයා සමග සිටිමින් රාත්‍රියේදී හිටපු ජනාධිපතිවරයා හමුවන මෙම පිරිසට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුව තුළ නොමැති අර්බුද ඇතිකිරීමයි. ඒ හරහා හිටපු ජනාධිපතිවරයාට වාසි සහගත දේශපාලන වටපිටාවක් සැකසීමයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top