Untitled 1

“රැන්ස්වෙයා ලාසරස්” උතුරු කොරියාව බව හෙළි වේ

මෙයට දින කිහිපයකට පෙර ලෝකයෙන් අඩක් අඩපණ කරමින් කප්පම් ද ඉල්ලමින් දියත් කළ රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවේ වැඩක් බව අනාවරණය වෙයි. පසුගිය සිකුරාදා පටන් මේ දක්වා ලෝකයේ රටවල් 150 ක පරිගණක පද්ධති 300”000 ක් ආසාදිත තත්වයට පත්කිරීමට මෙම සයිබර් වෛරසය සමත් විය. එය පැයකට පරිගණක 9000 ක් වැනි ප්‍රබල ආසාදන වේගයකින් ලොව පුරා පැතිරුණු බවත් වාර්තා වේ.

සීමන්ටෙක් සහ කැස්ර්ස්කී ලැබ් හි පරිගණක ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් පසුගියදා අනාවරණය කළේ වොන්න ක්‍රයි නමින් හැඳින්වුණු මෙම හැකර් මෘදුකාංගය, ලාසරස් ගෲප් නමැති සයිබර් හැකර් සංවිධානය විසින් පාවිච්චි කරන එකක් බවයි. ඒ අනුව මුල සොයාගෙන ගියවිට දැනගන්ට ලැබුණේ මෙම ලාසරස් ගෲප්” සෘජුවම උතුරු කොරියාව හා සම්බන්ධිත බව ය. ඒ අනුව ලෝකයම අඩපණ කළ ලාසරස්ලා සැබවින්ම සිටින්නේ උතුරු කොරියාවේ ය.

මේ හැකර් මෘදුකාංගයට ඔවුන් විසින් ලබාදී ඇති නම ද අපූරු ය. එහි නම “වොන්නක්‍රයි” සිංහලයට හැරවූ විට එන්නේ “අඬන්න ඕනැද?” වැනි අදහසකි. මේ ගෙවී යන්නේ උතුරු කොරියාව සිය පස්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම මගින් ලෝකයම සලිත කර ඇති දිනයන් ය. ඔවුන් පසුගියදා පවසා තිබුණේ අවශ්‍ය නම් ඇමරිකාවට වුවත් පහර දෙන්නට තරම් බලවත් න්‍යෂ්ටික ආයුධ තමන් සතු බවය. මෙයට සමගාමීව ඔවුන් මෙම හැකර් ප්‍රහාරයෙන් නොකියා අසන්නේ ලෝකයම හඬවන්නට සෑහෙන තරම් ආයුධ තමන් සතුව ඇති බව ය.     

අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top