1150 x 80 px

රෝහල්වල නේවාසික රෝගීන්ට සුදුසු ආහාර ලැබේද?

ලෝකයේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම ප්‍රමාණවත් ආහාර ලබා ගැනීම සඳහා අයිතියක් ඇත. ඒ අනුව රෝගීන්ටද ඒ අයිතිය එසේමය. නමුත් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල රෝගීන්ට කෙතෙක් දුරට ගැලපෙන ආහාර ලබා දේ දැයි ගැටළුවකි.

සාමාන්‍යන් රෝගීන්ගේ ආහාර වට්ටෝරුව එම රෝහලෙහි පෝෂණවේදියා විසින් අනුමත කළ යුතුය. රෝගය අනුව ආහාරයට ගත යුතු දේවල් වෙනස් වෙයි. නමුත් කොළඹ මහ රෝහලේ ඇත්තේ ප්‍රධාන වශයෙන් ආහාර වට්ටෝරු 2 ක් පමණි. අපට වාර්තා වන අන්දමට කොළඹ මහ රෝහල තුල දියාවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට පමණක් ආහාර වට්ටෝරුවක් වෙනමම සකනස අතර අනිකුත් සියලු රෝගීන්ට පොදු වට්ටෝරුවට අනුව ආහාර ලබාදෙයි.

වකුගඩු රෝගීන්ටත් සාමාන්‍ය ආහාර
කොළඹ ජාතික රෝහල හරහා පාලනය වන මාළිගාවත්තේ පිහිටි රජයේ වකුගඩු රෝහලට ආහාර සපයන්නේද කොළඹ මහ රෝහල විසිනි. එම වකුගඩු රෝහලේ නේවාසිකව සිට ප්‍රතිකාර ගන්නා රෝගීන් හට සාමාන්‍ය කෑම වට්ටෝරුව ලබා දීම සිදුකරන බවයි අපට වාර්තා වෙන්නේ.

ලබා ගන්නා ආහාර හා පානයන් සමග ඉතාම සංවේදී වූ රෝගයකි වකුගඩු රෝගය. ඒ නිසා එම රෝගීන්ට දෙන ආහාර සම්බන්ධයෙන් ඉතාමත් සැලකිලිමත් විය යුතු බව කිව යුතු නොවේ.

උදාහරණයක් ලෙස සාමාන්‍ය රෝගියෙකුට ආහාර සඳහා ලබා දෙන මාලු කෑල්ලේ බර ග්‍රෑම් 80 ක් විය යුතුය. නමුත් වකුගඩු රෝගියෙකු සඳහා ලබා දිය යුත්තේ ග්‍රෑම් 18 ක මාලු කෑල්ලකි. ( මෙය රජයේ රෝහල්වල අනුමත වූවකි)

 සමහර රජයේ රෝහල්වල බලධාරීන් තම කාර්ය හරියට සිදුකිරීමට කටයුතු කර තිබේ. ලංකාවේ මහනුවර මහරෝහලේ පමණක් වකුගඩු රෝගීන් වෙනුවෙන් වෙනම ආහාර වට්ටෝරුවක් ලබා දීමට එහි බලධාරීන් කටයුතු කර තිබේ. එසේම මුල්ලේරියාව මානසික රෝහලේ ලබා දෙන කෑම වට්ටෝරුව දින 30 සඳහා වට්ටෝරු 30 ක් ලබා දීමට බලධාරීන් යොමුව ඇත.

ඒ අතරම  රොගීන්ට නියම වී ඇති ආහාර ප්‍රමාණයම ලැබේ දේ දැයි වෙනත් ගැටළුවකි

මේ අතර රෝහල් වෙත ආහාර සැපයුම්කරුවන් විසින් සිදුකරන අක්‍රමිකතාවයන්ද බොහෝය.

අපට වාර්තා වන්නේ කොළඹ මහ රෝහලට මාළු සැපයුම් කරනුයේ මාලු සමග අයිස් මිශ්‍ර කරමිනි. දිනකට අයිස් කිලෝ 7-10 ත් අතර ප්‍රමාණයක් මාලු සමග මිශ්‍රව රෝහල වෙත සැපයන්නේ අයිස් බරද මාළු වල බර ලෙස සලකා මුදල් ලැබෙන නිසාය.

මෙයින් සිදුවන්නේ අන්ත අසරණ රෝගීන්ගේ පෝෂණයට පහර වැදීමයි. සාමාන්‍ය රෝහල්වලින් ප්‍රතිකාර ගන්නේ සාමාන්‍ය ජනයා වන අතර පොහොසත් ජනතාව පෞද්ගලික රෝහල් කරා යති. ජනතාවගේ බදුමුදල් වලින් යැපෙන මෙම රජයේ රෝහල්වල සිදුවන මෙවැනි අක්‍රමිකතාවයන් ගැන බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

- කේ.විජයවර්ධන-

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top