Untitled 1

කොළඹ මහනගර සභාවේ වැඩ නිසා මාළිගාවත්ත ජනතාව අනතුරේ!

මාළිගාවත්ත පේළි නිවාසවල පදිංචි දුම්රිය සේවකයින්ගේ හා පවුල්වල සාමාජිකයින්ට අනතුරක් වන පරිදි අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ මහනගර සභාව ආරම්භ කර ඇති බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය අනාවරණ කරයි. මාලිගාවත්ත දුම්රිය නිවාස වසර සියයකට වඩා පැරණි පාවිච්චියට නුසුදුසු නිවාස ලෙස රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කොට ඇති අතර, නොයෙකුත් ප‍්‍රශ්න මධ්‍යයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කරන සේවක පිරිසක් මෙම දුම්රිය නිවාසවල පදිංචිව සිටින බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.රත්නසිරි මහතා සඳහන් කරන්නේ.

යෝජිත ව්‍යාපෘතිය සඳහා පොළොව කැනීමට කටයුතු කිරීමේ දී යල්පැනගිය බිත්ති ඉරිතැලීමට/කඩාවැටීමට ඉඩ ඇති බැවින් ජීවිත අනතුරු ද සිදුවීමට ඉඩ ඇති බව රත්නසිරි මහතා පෙන්වා දෙයි.වැසි දිනවල දී වැසි ජලයෙන් යටවන මෙම භූමිය ඉතා අපිරිසිදු භූමියක් වන අතර කුඩා දරුවන්ට හා පාසල් යන දරුවන්ට නිතර නිතර රෝග වැළඳීම නිසා මෙම නිවාසවල ජීවත්වන දුම්රිය සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පවසන ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරන්නේ මෙම නිවාස භුමියේ ඇති වැසිකිලි හා ජලසැපයුම් හා අපජලය බැහැර කිරීම විධිමත් ක‍්‍රම වේදයකට අනුව කළමනාකරණය නොකිරීම නිසා අපිරිසිදුබව තවත් වැඩිවී ඇති බවයි.


"ජන ජීවිතය ඔසවා තැබීම සඳහා කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම ඉතා අවශ්‍යයි. එහෙත් ජනතාවගේ ජීවිත අනතුරට පත්වන ආකාරයේ සංවර්ධනයකින් වැඩක් වෙන්නේ නැහැ.මේ ආසන්නයේම වැඩ අවසන් කර ඇති මහල් නිවාසයක් තියෙනවා.එම මහල් නිවාසයේ නිවාස දුම්රිය සේවකයන්ට ලබා දීමේ හැකියාව පවතින අතර ඊට විෂය භාර ඇමතිවරයාට මැදිහත වෙන්න පුළුවන්."

ඒ අනුව අනතුරක් වීමට පෙර එය වළක්වා ගැනීමට බලධාරීන් මැදිහත් විය යුතු බව රත්නසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top