Untitled 1

ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නෙ ?

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවත් සමගින් ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කතාබහට ලක්විය. ඒ අනුව වාර්තා වූයේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් දස දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සිටින බව වාර්තා විය. එහෙත් ගීතා කුමාරසිංහ මහත්මිය හැර සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන් තවමත් නිළ තොරතරු වාර්තා වී නොමැත.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු ඉල්ලා ඇති බවයි. ඒ අනුව එම තොරතුරු ලැබුණු පසු ඒවා ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරන බව එම සංවිධානය පවසයි.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය පසුව ඔක්තෝබර් මාසය දක්වා දීර්ඝ කෙරිණි. එම තත්වය තුළ මේ වනවිට ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වීම පිළිබඳ උණුසුම කෙමෙන් වියැකී යමින් තිබේ.

මෙම ගැටලුව හේතුවෙන් අදාල මන්ත්‍රීවරුන් දස දෙනාගේ මන්ත්‍රීධූර අහෝසි වුවහොත් ප්‍රධාන දේශපාලන පක්ෂවල මන්ත්‍රී සංඛ්‍යාව වෙනස් වන අතර එය පාර්ලිමේන්තුවේ බලතුලනය වෙනස් වීමට ද හේතු වේ. විශේෂයෙන් ශ්‍රීලනිපය සතු මන්ත්‍රීධූර සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන අතර දෙමළ ජාතික සන්ධානයට ද දැඩි ගැටලුවකට මුහුණදීමට සිදුවේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය ආණ්ඩුව නියොජනය කරන පක්ෂයක් නිසා මන්ත්‍රීධූර අහෝසි කිරීම වලක්වාගැනීමේ උත්සාහයක් පැවතිය හැකි අතර ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සම් විභාගය ඔක්තෝබර් මාසය දක්වා කල් දැමීම ද එහි ප්‍රතිඵලයක් විය හැකිය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top