1150 x 80 px

සිසු මර්දනයට එරෙහිව පේරාදෙනිය සිසුන් පාරට බසී

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹදී සංවිධාන කර තිබුණු විරෝධතාව සඳහා පොලීසිය කළ පහරදීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගලහ හන්දිය අසල සිට ඊයේ (18) උද්ඝෝෂණයක නිරතවූහ.

ආණ්ඩුව පොලීස් බලය භාවිත කොට සිදුකළ මර්දනකාරී පිළිවෙත හේතුවෙන් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත වී සිටින බවත් තවත් සිසුන් අට දෙනෙකු 19 වන දින දක්වා රිමාන්ඩ් කළ බව විරෝධතාවට එක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කරන බවට ජනතා පොරොන්දුවක් ලබා දුන් ආණ්ඩුව ඒ පොරොන්දු පසෙලකා ජනතාව මර්ධනය කරන බව කී ශිෂ්‍ය සංගම් සභාපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය. නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ලබා දෙන බව ජනතාවට පොරොන්දුදී ඡන්ද කොල්ල කෑ මෙම ආණ්ඩුව අද ඒ ඉල්ලීම් වෙනුවෙන් ඉදිරිපත් වන පිරිස් මර්ධනය කිරීමට ද කටයුතු කරනවා.

ආණ්ඩුව පොලීසිය යොදාගෙන ජනතාව මර්ධනය කළත් රටේ වංචාකරුවන් සොරුන් ඇල්ලීමට පොලීසිය භාවිත කරන්නේ නැහැ. අද විශාල මහ බැංකු බැදුම්කර වංචාවක් සිදුව ඇතත් එහි සැකකරුවන් සිටින්නේ නිදැල්ලේ. වාහන බලපත් ලබා ගත් මහජන නියෝජිතයන් එවා අලෙවිකරමින් මහජන මුදල් විශාල වශයෙන් වංචා කරනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔවුන්ගේ වංචා අනාවරණය කර ගැනීම වෙනුවෙන් පොලීසිය යොදවන්නේ නැහැ.

අද රට කුඩු, මංකොල්ලකරුවන්ගෙන්, සොරුන්ගෙන් දූෂිතයන්ගෙන් පිරිලා. නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොයොදවන නමුත් රටේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වන මහජනයා මර්ධනය කිරීමට පොලීසිය යොදවන බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පැයකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතාව සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ නමය නියෝජනය කරමින් සිසුන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

නුවර නදීක දයා බණ්ඩාර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top