Untitled 1

GSP+ අද සිට

වර්ෂ කිහිපයක් පුරා ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ සහනය අද සිට නැවත ලැබෙන බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඊයේ ඒ පිළිබඳව නිළ වාර්තාව යුරෝපා සංගමය විසින් නිකුත් කරන්නට නියමිතව තිබිණි.

මෙරට නිෂ්පාදිත ඇඟළුම්, ධීවර හා රබර් නිෂ්පාදන ඇතුළු යුරෝපා රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා බදු සහන හිමිව තිබූ අතර 2007 වසරේදී එය සීමා කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබිණි. ඉන් අනතුරුව 2010 වසරේදී එය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබීය.

යුරෝපා සංගමය ප්‍රකාශ කළේ එවක පැවති රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් GSP+ බදු සහනය ඉවත් කිරීමට සිදුවූ බවයි. විශේෂයෙන් මානව හිමිකම් කඩවීම්, පුද්ගල අතුරුදන් කිරීම්, මාධ්‍ය නිදහසට බාධා පැමිණවීම් ආදිය මේ සඳහා හේතුවිය.

2015 වසරේදී මෙරට සිදුවූ ආණ්ඩු මාරුවත් සමගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ තිබූ කලු පැල්ලම් ඉවත් වූ අතර විශේෂයෙන් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා ඉවහල් විය. යුරෝපා සංගමය ප්‍රකාශ කළේ රටතුළ මානව හිමිකම් තහවුරු කිරීමට වත්මන් රජය සමත් වී ඇති බවත් සහ ඒ සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බවත්ය.

නැවතත් GSP+ බදු සහනය මෙරටට ලබාදීමට යුරෝපා සංගමය තීරණය කළ අතර එයට එරෙහිව මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන ආ යෝජනාව ද බහුතර ඡන්දයෙන් පරාජයට පත්විය. යහපාලන රජය යටතේ ළමා ශ්‍රමිකයන්ට එරෙහි ප්‍රඥප්ති, සංහිදියාව සහ වගවීම, සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතිය මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය හා ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ආදි අන්තර් ජාතික සම්මූතිවලට අදාළ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා කොමිසමේ ඇගයීමට බඳුන් වූ අතර බදු සහනය නැවත ලබගැනීමේදී එය ප්‍රබල සාධකයක් බවට පත්විය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top