Untitled 1

ඇමැති බලතල ගැසට් පත්‍රයේ වරදක් - ජැක්සන්ගේ හෙලන්කා මංගලට

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීරට අදාළ ව ගැසට් කර ඇති ආයතන ලැයිස්තුවේ ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනීට අයත් ක්‍රියේටිව් හෙලන්කා නම් පෞද්ගලික සමාගම ද ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් ඇති වී තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා නම් කොටසේ අංක 31 යටතේ ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඞ් නම් මේ සමාගම ඇතුළත් කර ඇත.

මීට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ මෙවැනි ආයතනයක් තිබී නැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී පැවසුවේ ක්‍රියේටිව් හෙලන්කා පෞද්ගලික සමාගම සම්පූර්ණයෙන්ම තමන්ට අයත් සමාගමක් බවයි. 2010 වසරේ දී ආරම්භ කරන ලද මේ සමාගම මඟින් මහා සංචාරය ඇතුළු වාර්තා වැඩසටහන් සහ දස්කොන්, ශ්‍රී රජ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක් ද නිෂ්පාදනය කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ සමාගම රජයේ ගැසට් පත්‍රයට මෙසේ ඇතුළත් වූයේ කෙසේද යන්න තමන්ට ද ගැටලුවක් බව ජැක්සන් ඇන්තනී තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දී හම්බන්තොට වරාය විවෘත කිරීමට අදාළ ‘කරදියවර මංගල්‍යය’ නම් උත්සවය සංවිධානය කිරීම සඳහා මේ සමාගමට රුපියල් මිලියන 18ක් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි. මීට අමතරව පසුගිය ආණ්ඩුව සමයේ දී විවිධ ව්‍යාපෘති රැසකට අදාළ සමාරම්භක උත්සව සංවිධානය කිරීම ද මෙමඟින් සිදු කර ඇත.

මේ පෞද්ගලික සමාගම තම අමාත්‍යාංශය යටතට පැවරී තිබුණත්, ඊට අදාළ කිසිදු තොරතුරක් නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් එහි ලේකම් පී.බී. අබේකෝන්ගේ අත්සනින් මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, අදාළ සමාගම ඊට ඇතුළත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමසීමට ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය පැවසුවේ අබේකෝන් මහතා ජනාධිපතිවරයා සමඟ රැස්වීම්වල සිටින නිසා සම්බන්ධ කළ නොහැකි බවයි.

ශාලික විමලසේන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top