Untitled 1

නීතිවේදීන් පත්කරන්නේ විජේදාස ද ?
රූපවාහිනී සංවාදයකට සහභාගිවෙමින් නීතිඥයෙකු පළකළ අදහස් සම්බන්ධයෙන් අදාල නීතිඥයා ජාතියෙන් සමාව නොගන්නේ නම් නීතිඥ වෘත්තියෙන් පන්නා දැමීමට කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකදී තර්ජනය කළේය. ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ මාන්කුලම් අධිකරණ සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.
අධිකරණ අමාත්‍යවරයා වූ පලියට, නීතිඥයෙකු ද වන විජේදාස රාජපක්ෂ මහතාට එසේ පුද්ගලයන් නීතිඥකමෙන් පන්නා දැමීමට ඇති හැකියාව කුමක්ද ?
 
අදාල රූපවාහිනී සාකච්ඡාවට පැමිණි ලක්ෂාන් ඩයස් නීතිඥවරයා ප්‍රකාශ කළේ අන්තවාදී බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිස් විසින් ක්‍රිස්තියාන් ආගමික් ස්ථාන 166 කට පමණ පහර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත්ය. තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ අදාල සිදුවීම් සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන් සතුව තිබෙන බවයි. ඒ නිසා ඔහුගේ ප්‍රකාශය ඉතා වගකීමෙන් සිදුකරන බවයි ලක්ෂාන් ඩයස් මහතා ප්‍රකාශ කළේ.
 
බුද්ධ සාසන අමාත්‍යවරයා ද වන විජේදාස රාජපක්ෂ මහතා කළයුත්තේ මෙම ප්‍රකාශය සිදුකළ නීතිඥවරයා දඩයම් කිරීම හෝ ඔහුව නීතිඥ වෘත්තියෙන් නෙරපීමට කටයුතු කිරීම නොවේ. ඔහු ඉතා වගකීමෙන් සිදුකරන ප්‍රකාශය තුළින් පෙන්වා දෙන කරුණු පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමයි.
 
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එවැනි සිදුවීමේ කිසිවක් වාර්තා නොවන බව ප්‍රකාශ කරන්නේය යන පදනම මත අදාල නීතිඥවරයාගේ ප්‍රකාශය අසත්‍ය බවට නිගමනයකට පැමිණීමට අධිකරණය ඇමතිවරයාට අයිතියක් නැත. ඔහු සිදුකළ යුත්තේ එවැනි ප්‍රහාර සම්බන්ධයෙන්, නීතිඥවරයා පවසන පරිදි සිදුකර ඇති පොලිස් පැමිණිලි හා නඩු වාර්තා අධ්‍යයනය කිරීමයි.
 
අධිකරණය මගහරිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඟවාගෙන සිටින්නේද විජේදාස රාජපක්ෂ මහතා බවට මාධ්‍ය වාර්තා පළවූ අතර විවිධ ජාතිවාදී සංවිධානවලට ඔහු සහයෝගය දක්වන බව නොරහසකි. වගකීමෙන් යුතුව මෙම නීතිඥවරයා සිදුකරන ප්‍රකාශ කිසිදු වගවිභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරමින් ඔහුව නීතිඥ වෘත්තයෙන් පන්නා දැමීමට කටයුතු කිරීම හරහා අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය තවදුරටත් තහවුරු වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top