Untitled 1

'අපරාධක' අතහැර 'රුවන්' සොයා ගැනීම හෙවත් පොලිස්පතිගේ අලුත් ම වික්‍රමය

අපරාධය නම් අතුරුදන් කරවීමද ? අතුරුදන් වූවන් ගැන සෙවීමද ? පොලිස්පතිගේ යහපාලනය මේකද ??

පසුගිය ජුනි 13 වනදා උදෑසන මට ලැබුණු දුරකථන ඇමතුමකි. ඇමතුම කොළඹ පොලිස් අපරාධ කොට්ටාශයෙනි. ඉන් පැවසුනේ වසරකට පමණ පෙර අප විසින් ගෝල්ෆේස් පිටියෙහි කරන්නට යෙදුණු විරෝධතාවක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මා කොළඹ පොලිස් අපරාධ කොට්ටාශයට පැමිණිය යුතු බවය. මගේ ක්ෂණික පිළිතුර වූයේ එදා අප කළ විරෝධතාවය කාටත් හොරෙන් රහසෙන් කළ එකක් නොව රටට ම පෙනෙන්නට කළ එකක් බවත්, ඒ පිළිබඳව පළ වුණු මාධ්‍ය වාර්තා, වීඩියෝ පට අවැසි තරම් පොලීසියට සොයාගත හැකි බවත් වැඩි විස්තර අවශ්‍ය නම් දෙවැනි දින එතැනට පැමිණි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත හැකි බවත් එබැවින් අමුතුවෙන් දෙන්නට ප්‍රකාශයක් මා ළඟ නැති නිසා දෙමටගොඩට එන්නට මට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත් ය. දැන් මා අත පොලිස් පණිවිඩයක් තිබේ. මා නිවසේ නොසිටි අවස්ථාවක නිවසට පැමිණ භාර දී ඇති එහි සටහන් වන්නේ "පොලිස්පති තුමාගේ නියෝග මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 2017.07.26 වන දින පැය 10.00 ට කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණෙන ලෙස" ය.

පූජිතට අමතක අතීත කතාව

රටේ නීතිය හා සාමය අකුරට ම රැකී, කොළඹ කේතුමතී පුරයක් වී ඇති යුගයක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මාව මතක් වන්නට ඇත්තේ වෙන වැඩක් ඇත්තේ ම නැති නිසාම වන්නටත් පුළුවන. කෙසේ වෙතත් මුල් ඇමතුම හා බැඳුණු සිද්ධියට මගේ සම්බන්ධය 2016 සැප්තැම්බර් 01 දින දක්වා පසුපසට දිවෙන අතර පොලිස්පති පූජිත ඇතුළු සමස්ථ "පොලිස් අපරාධ කොට්ටාශය"ම අමතක කරන්නට තනන සිදුවීම 2013 සැප්තැම්බර් 02 වන දින දක්වා දිවෙයි. එවකට තිබුණේ 'ගෝටාගේ පොලීසිය' බැවින් අද තිබෙන 'යහපාලන පොලිසිය'ට එදා ගැන සහමුලින් ම අමතක වී ඇතිවා වන්නටත් බැරි නැත. ඉතින් එකී සිදුවීම පොලිස්පතිට මතක් කර දෙන්නට මා ද කැමතිය.

මධුෂ්ක හරිෂ් ද සිල්වා සුදුවෑන් රථයකින් පැහැරගෙන යාම

2013 සැප්තැම්බර් මස 02 වනදා සවස අනුරාධපුර නගරයේදී මධුෂ්ක හරිෂ් ද සිල්වා සහ ලක්ෂ්මන්, ජනිත යන අයව සුදුවෑන් රථයකින් පැහැරගෙන යනු ලබන්නේ ප්‍රසිද්ධියේ ම ය. පැහැරගත්තවුන් තමන් 'අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ' බව අවට සිටියවුන්ට පවසා තම හැඳුනුම්පත් ද පෙන්වා ඇති බව කියැවේ. කෙසේ වෙතත් මධුෂ්කව පැහැරගනු ලැබූ මොහොතේ ඔවුන් ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථය තිසා වැවට පෙරළා දමා තිබියදී තමන්ට හමු වූ බවක් පොලීසිය පවසා තිබුණු අතර ලක්ෂ්මන් හා ජනිත දෙදෙනාට හොඳටෝම පහර දී පසුවදා මහමඟ දමාගොස් තිබුණ ද මධුෂ්ක මෙතෙක් ආපසු පැමිණියේ නැත. සිව් වසරකට ආසන්න කාලයක් තුළ මධුෂ්කට සිදුවූයේ කුමක්දැයි සොයන්නට ශ්‍රී ලංකා පොලීසියේ කවර ම හෝ අපරාධ කොට්ටාශයකට වුවමනාවක් හෝ හැකියාවක් තිබී නැත. ඉතින් පූජිත, උනන්දු වෙනවා නම් ප්‍රශ්න මේවාය.

මයුරිගේ විරෝධය

මධුෂ්කව පැහැරගත් මොහොත වන විටත් මධුෂ්කගේ බිරිඳ වන මයුරි ජයසේන සය මස් ගැබිණියකි. ඇය බිහි කළ නිවුන් දරු දෙදෙනා පියාව හඳුනන්නේ ඡායාරූපයෙන් පමණි. 2016 සැප්තැම්බර් 01 වනදා මයුරි එම දරු දෙදෙනා ද සමඟ ගෝල්ෆේස් පිටියෙහි හිඳගන්නේ මුහුදු සුළං විඳ යන්නට නොවේ. වසර තුනකට පෙර අතුරුදන් කළ තම සැමියාව, තම නිවුන් දරු දෙදෙනාගේ පියාව සොයා දෙන ලෙස ඉල්ලන්නටය. ඇය වෙත වූයේ බිම හිඳගන්නට පැදුරු දෙකකුත්, මධුෂ්ක කෝ ? යනුවෙන් ප්‍රශ්න කෙරෙනා බැනර් දෙකකුත් දරුවන් දෙදෙනාගේ අඩුම කුඩුම දැමූ කූඩයකුත් තම දරුවන්ට පියා සොයා දීම සඳහා වූ අප්‍රතිහත ධෛර්යයත් පමණි.

රාජපක්ෂ යුගය තුළ මේ රටේ සුදුවෑන් සංස්කෘතියක් ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. එකී සුදුවෑන් වලට එතරම් නිදහසේ සැරිසරමින් මිනිසුන් පැහැරගන්නට, අතුරුදන් කරන්නට හැකියාව ලැබුණේ පොලීසියේ අනුදැනුම හා අශිර්වාදය ද ඊට හිමිව තිබුණු නිසාද ? අනෙත් අතට ගෝටාගේ පොලීසියට තිබුණේ ම රාජපක්ෂලාගේ නියෝග ඉටු කිරීමට ම නොවේද ? අනෙත් අතට පොලිස් ලොක්කන් තනි තනිවමත් වැට බිඳගෙන පැන ඇන්න අවස්ථාද නැතුවාම නොවන්නේ නොවේද ? අද මාව සොයනා පොලීසියේම කෙරුමෙකු වූ වාස් ගුණවර්ධනට මරණ දඬුවම හිමිවූයේ එසේ කප්පම් ගැනීමක් වෙනුවෙන් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම නිසාය. මධුෂ්ක අතුරුදන් කරවීම පිළිබඳව ද චෝදනා එල්ල වී තිබුණේ පොලීසියට ම ය. එකී පැමිණිල්ල සටහන් කර ගැනීම මඟ හැරීමේ පටන් පොලීසිය මේ පිළිබඳව ක්‍රියා කළ ආකාරයද සැක සහිත විය. රාජපක්ෂ ආණ්ඩුව එළවා දැමුණේ එකී සුදුවෑන් පැහැර ගැනීම් නැවැත්වීමට පමණක් ම නොවේ, පැහැරගත්තවුන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ද සොයා බැලීමටය. වරදකරුවන් සොයා නීතිය ඉදිරියට ගෙන ඒමටය. එදා 2016 සැප්තැම්බර් 01 දින සිට සැප්තැම්බර් 02 දින දහවල දක්වා අඛණ්ඩ විරෝධතාවයට මා එක් වූයේද අන්න ඒ කරුණු මතක් කර දීමට ය. එදා මයුරි සොයුරිය සමඟ එම නිහඬ විරෝධතාවට එක් වූයේ සමාජ ක්‍රියාකාරිකයින්, මාධ්‍යවේදීන් ඇතුළු සුළු පිරිසක් පමණි.

එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා ද කොළඹට පැමිණ සිටි බව ඇත්තය. මයුරි ජයසේනගේ ඉල්ලීම වූයේ තමන්ට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හමු වී තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසය. ඇය පවසා සිටියේ පසුගිය වසර තුන තුරාවට එක් එක් ලේකම්වරුන් විසින් දුන් බොරු පොරොන්දු වලින් තමන් හෙම්බත් වී ඇති බවය. මයුරිත් සමඟ සිටි දස දෙනෙකුටත් අඩු අපේ පිරිස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙනුවෙන් සැකසුණු ආරක්ෂක වැඩපිළිවෙලට තර්ජනයක් වීයැයි සිතුවා නම් ඊට එහා විහිළුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන කිසිම රටක කිසිම ආරක්ෂක අංශයකින් සිදු වී නැතිවා විය හැකිය. කෙසේ වෙතත් එදා රෑ එළිවෙන තුරා අප ගෝල්ෆේස් පිටිය අද්දර සිටියදී අපගේ පිරිසට වඩා වැඩි රහස් පොලිස් නිලධාරීන් පිරිසක් වට පිටේ රැඳෙමින් අපට තනිරකින්නට ඇති බව නම් නිසැකය.

අපෙන් බිඳෙන චීනුන්ගෙන් රැකෙන ජ. ලේ. කා. ආරක්ෂාව

රාත්‍රිය ගෙවී එළඹුණේ සැප්තැම්බර් 02 වැනිදාවය. එනම් මධුෂ්ක හරිෂ් ද සිල්වා තරුණයාව විජේපුර බෝ ගහ අසල දී සුදුවෑන් රථයකින් පැහැරගෙන අතුරුදන් කෙරී තුන් වසරක් පිරෙන දිනය ය. පොලීසියට ම බණ කියන, භාවනා උගන්වන පූජිත මහතා "ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි" යන්න නොදන්නවා විය නොහැක. සැමියා අහිමිකරණු ලදුව වසර දෙකහමාරක් වයසැති දරු දෙදෙනෙකුත් සමඟ තනිවූ, වසර තුනක් පුරා සැමියා පිළිබඳව තොරතුරක් සොයා රට පුරා ගෑටූ බිරිඳකගේ ශෝකය හෝ සාධාරණ කෝපය පිළිබඳව සාහිත්‍යමය වැනුම් මෙතැනට එක් කිරීමට අදහස් නොකරමි. එදා මයුරි ජයසේන මහත්මියට වුවමනා වූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිය විරෝධතාවය පැවැත්වීමටය. අවම වශයෙන් ජනාධිපති ලේකම්වරයා හෝ හමුවී තම අවනඩුව කියා විසඳුමක් ඉල්ලීමටය. එහෙත් කොටුව පොලීසිය ඊට ඉඩ දුන්නේ නැත.

මධුෂ්ක සොයා දෙන්නැයි ඉල්ලීම සහිත බැනර් දෙකද සමඟ මයුරි සොයුරිය ඇතුළු අපගේ කුඩා පිරිස පාගමනින් ගෝල්ෆේස් පිටිය අයිනෙන් ඉදිරියට ඇදෙද්දී අප ඉදිරියට පැමිණියේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස් නිලධාරීන් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් ඇතුළු තරමක් විශාල පිරිසකි. අපට ඉදිරියට යාමට ඉඩ දිය නොහැක්කේ කවර නීතිමය පදනමින්දැයි අප විමසූ විට නොයෙකුත් විහිළු සහගත තර්ක ඔවුහු ඉදිරිපත් කළහ. අප පැවසූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාරෙන් මෙපිට සමුද්‍රාසන්නයේ ඇති බස් නැවතුම අසලට හෝ යාමට අපට ඉඩ දෙන ලෙසය. පොලීසිය කීවේ එය ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට තර්ජනයක් බවය. ඒ කියන මොහොත වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසලින් ම චීන තරුණයින් පිරිසක් ගමන් කරනු දක්නට ලැබිණි. ලාංකික අප ගාලු පාරෙන් එපිට සිටියත් ආරක්ෂාවට තර්ජනයක් වෙද්දී චීනුන් ගේට්ටුව අබියස ම සිටීම එකී රටේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට තර්ජනයක් වූයේ නැත. තර්කයට අනුව නම් අප ඒ මොහොතේ සිටියේ චීනයේ විය යුතුය.

කාන්තා හිංසනය සහ පොලීසියේ 'පිරිමිකම'

කෙසේ වෙතත් පොලීසිය අවසානයේ තමන්ට හැකි කුජීත ම ක්‍රමය තෝරාගත්තේය. පොලිස් කාන්තාවන් පේළියක් අප ඉදිරියෙන් සිටුවා ඔවුන් පසුපස සැඟවුණු කොටුව පොලිස් ස්ථානාධිපති ඇතුළු 'පිරිමි' පොලිස් නිලධාරීන් කියා සිටියේ එකී කාන්තා පොලිස් නිලධාරිනියන් පසුකර එන්නට තැත් කළහොත් "කාන්තා හිංසනය" යටතේ අපට එරෙහිව නඩු පවරන බවය. ඒ, එකී ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ 'පිරිමිකමේ තරම' ය. එක් කාන්තාවකට සිදු කරන ලද අසාධාරණයකට එරෙහිව වීදි බැස සිටියදී රාජකාරියේ නාමයෙන් අප ඉදිරියට තල්ලු කර 'බංකරයක්' කරගනු ලැබූ තවත් කාන්තාවන් පිරිසක් අපහසුතාවට පත් කිරීමට අපට නොහැකි නිසාවෙන් ම විරෝධතාවය අපි එතැනින් අවසන් කළෙමු. තමා සයමස් ගැබිණියකව සිටියදී සිය සැමියා පැහැරගෙන ගොස් අතුරුදන් කරවා දරු දෙදෙනෙකුත් සමඟ මෙලොව තනි කර, එකී දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් තවත් දශක ගණනක් දුක් විඳින්නට නියම කරණු ලැබූ තමන් වැනිම තවත් එක් කාන්තාවක් පත්ව ඇති, පත් කරණු ලැබ ඇති හිංසනය ගැන හඟින්නට දකින්නට කියන්නට එතැන සිටි එක් කාන්තාවකටවත් නොහැකි වන්නට ඇත්තේ ඔවුන්ගෙ සංවේදී ඉන්ද්‍රියයන්ට 'පොලිස් ඇබ' ගසා තිබුණු බැවින් යැයි සිතමු. ආරෝවක් නැත.

එහෙත් සිද්ධීන් එතැනින් අවසන් නොවූ අතර පළිගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඉන් අනතුරුවය.

අතුරුදන් වූවන් සෙවීම වෙනුවට සොයන්නන් ගැන සෙවීම

නිදිවර්ජිතව ගෙවූ වෙහෙසකර රාත්‍රිකට පසුව නවාතැන බලා යාමට වරාය පාරේ නවතා තිබූ මෝටර් රථය වෙත පැමිණි අපට එහි යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මඳ වේලාවක් එතැන රැඳෙන්නට සිදුවිය. එවිටම එතැනට පැමිණි රථවාහන පොලිසියේ නිලධාරීන් දෙපළක් අපෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටියහ. අප සමඟ සිටි නීතීඥ සහෝදරයා ඊට විරෝධය පළ කළේ රථවාහන පොලිස් නිලධාරීන්ට හැඳුනුම්පත් ඉල්ලීමේ අයිතියක් නැති බවට කරුණු ඉදිරිපත් කරමිනි. ඒ හා සමඟ ම නැවත පිටත් වුණු ඔවුන් පැමිණියේ කොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ද සමඟය. අපෙන් හැඳුනුම්පත් ඉල්ලාගත් ඔහු ඒවායේ තොරතුරු සටහන් කරගත්තේය. ටික දිනකින් ම මහනුවර පිහිටි මගේ නිවසට පොලිස් පණිවිඩයක් රැගෙන නිලධාරියකු පැමිණ තිබිණි. ඒ, සැප්තැම්බර් 14 වන දින කොටුව පොලීසියේ පෙනී සිටින ලෙස දන්වා සිටිමිනි. එකී පොලිස් නිලධාරියා මගේ නිවස පිහිටි මාර්ගය පුරා ඇති නිවෙස් වලින් මගේ ලිපිනය පෙන්වමින් විමසීම් කර තිබිණි. මෙහි එකම අරමුණ වන්නට ඇත්තේ මා පොලීසිය විසින් සොයනා යම් භයානක පුද්ගලයකු බව ගමට හැඟවීමේ 'සිඟිති ආතල්' එකක් ගැනීමය. නිවසට ගොඩවැදී වියපත් පියාටත් අසනීපයෙන් පසු වූ අම්මාටත් ගෙරවීමෙන් චූටි පුතා පිළිබඳ අවිනිශ්චිත හැඟීමකට, බියකට ඔවුන් ඇද දමන්නට ඇති අතර මගේ අම්මා ජීවත් වූයේද ඉන් හරියට ම මාස දෙක හමාරක් තරම් කෙටි කාලයක් පමණි.

පොලීසියේ වුවමනාව පරිදි 2016 සැප්තැම්බර් 14 වනදා මයුරි ජයසේන සොයුරිය ඇතුළු අපි නීතීඥයකු ද සමඟ කොටුව පොලීසිය වෙත ගියෙමු. මයුරි සොයුරියට එරෙහිව නඩු පැවරීමට නියමිත බවට පුවත්පත් වාර්තා පවා ඒ වන විටත් පළ වී තිබිණි. කෙසේ නමුත් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අපේ නීතීඥවරයා සමඟ කළ කෙටි සාකච්චාවකින් අනතුරුව අපට ආපසු යන්නැයි කීවේය. අපගේ නීතීඥවරයා අපට කීවේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම සිද්ධිය මෙතැනින් අවසන් කරන බවත් කිසිවකු අත් අඩංගුවට ගැනීමට තමන්ට වුවමනාවක් නොමැති බවත් මාධ්‍යයට කිසිවක් නොකියන ලෙසත් පැවසූ බවය.

දස මාසෙන් පත්තු වුණු පූජිත්ගේ ටියුබ් ලයිට්

දැන් මාස දහයකට පසු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හදිසියේ මතක් වී තිබෙන්නේ මේ සිදුවීමය. ඊට පාදක වූ 2013 සැප්තැම්බර් මස 02 වන දා අනුරාධපුර විජේපුර බෝ ගහ අසලදී සුදුවෑන් රථයකින් පුද්ගලයින් තිදෙනෙක් පැහැරගෙන යාම, ඔවුන්ට පහරදීම සහ ඉන් එක් තැනැත්තෙක් අතුරුදන් කරවීම යන කරුණු ඔහුගේ මෛත්‍රී සහගත චිත්තයට අදාල නැතුවා සේය. 2016 සැප්තැම්බර් 08 වනදා මරදාන CSR ශාලාවේ පැවැත් වූ සම්මන්ත්‍රණයකදී මයුරි ජයසේන මහත්මිය සෘජුවම චෝදනා එල්ල කර තිබුනේ මධුෂ්කව පැහැර ගැනීම එවකට පොලිස්පති ඉලංගකෝන්ගේ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද්දක් බවටය. පොලිස්පති ජයසුන්දර මහතාගේ පූජිත රාජකාරියට ඒවා ගැන පරීක්ෂණ පැවැත්වීම අයිති නැතුවා සේය.

'අපරාධක' අතහැර 'රුවන්' අල්ලා ගැනීම

අතුරුදන් වූවන් පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් රටෙහි තිබේ. උතුරට අදාල අතුරුදන් කිරීම් සියල්ල "රණවිරු" සෙවනැල්ලෙන් වසා දමා තිබේ. දකුණට අදාල අතුරුදන් කිරීම් "දේශද්‍රෝහී, එන් ජී ඕ, ඩොලර්" වළවල් වල දමා ඊට උඩින් දේශප්‍රේමී පස් දමමින් තිබේ. අතුරුදන් කරවීම් වලට එරෙහිව ක්‍රියා කරන බවට පොරොන්දු දී බලයට ආ මෛත්‍රී + රනිල් ආණ්ඩුවද පොරොන්දු පසෙකලා ධර්ම චක්‍රයට ඕනෑ හැටියට කැරකෙන්නට පටන් ගෙන ඇති අතර ධර්ම චක්‍රය අතේ ගසා ගත් පොලිස්පති පූජිත, මධුෂ්කව අතුරුදන් කර වූ "අපරාධකරුවන්" සොයනු වෙනුවට අවසානයේ "රුවන් නෙළුගොල්ල"ව සොයාගෙන තිබේ. මාව කැඳවන අපරාධ කොට්ටාශයෙහි ම 'අපරාධ' කොටස සහ 'ක' යන්න ඇති බැවින් මදි පාඩුවට මගේ 'රුවන්' කොටස ද එකතු කරගෙන 'අපරාධකරුවන්' සොයාගත් පොලිස්පති පූජිතට මගේ උණුසුම් සුබපැතුම් !

එසේම, මාස දහයකට පසු දෙවැනි වරටත් මගේ නිවස සොයා ගන්නට බැරිව ගම පුරා ඇවිද පොලීසියෙන් මා සොයන බව ගමට ම කියූ කටුගස්තොට පොලීසියේ කවුරුන් හෝ නිලධාරියාට ද මගේ ස්තූතිය පිරිනැමිය යුතුය. එසේම කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයාට කියන්නට ඇත්තේ කවර හෝ තූත්තුකුඩියකින්, ඈත වන්නි තුලානේ ඩොටේ ගම්මානයකින් රැකියා නැති තරුණයින් පොලිසියට පැමිණෙන බව ඇත්තක් මුත් තමන්ගේ වසමේ සේවය කරන තාක් හෝ එහි ඇති මඟතොටවල් ටිකවත් ඔවුන්ට කියා දෙන්නට කාරුණික වන ලෙසය. එසේම පොලිස් පණිවුඩ ලියන්නාගේ අත් අකුරු නම් ඉතාම කැත බවත් යන්තම් හෝ කියවා ගත හැකි අයුරින් පණිවිඩ ලියන්නට උත්සාහ කරන ලෙස ඔහුව පොළඹවන්නටත් යෝජනා කරමි.

මාධ්‍යවේදියෙක් මි. 'ලංකා නිව්ස් වෙබ්' වෙබ් අඩවියෙහි දේශපාලන සංස්කාරකවරයා ලෙස කටයුතු කරමි. එදා දුර්දාන්ත රාජපක්ෂ පාලනය පෙරළා දැමීම වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි ඡායා මාත්‍රයක් හෝ යළි පිහිටුවීම වෙනුවෙන් සිතට එකඟව අපි ක්‍රියාත්මක වුණෙමු. පොදුවේ ජනතාව විඳිනා නිදහසක හුස්මක් මිස පුද්ගලිකව ඉන් අපට යමක් නොපැතුවෙමු. නොපතමු. බත්ගොට්ටට, නිල තළයට, රාජ ඌෂ්ණයට හෝ කරට අත දමා ගන්නා දෙකයි පනහේ ඡායා රූපයකට හීලෑ කර ගත හැකි, දැනටත් එසේ කරගත් මාධ්‍යවේදීන් ද නැතුවා වන්නට බැරිය. එහෙත් අප හෝ අප සමීපව ඇසුරු කරන සුළු පිරිස නම් එවැන්නන් නොවේ. පොලිස් මූලස්ථානය තුළ දී එහි විදුලි සෝපාන ක්‍රියාකරුවාට පහර දී මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරනා පොලිස්පතිවරයෙක්, ඒ තොරතුරු රටට හෙළිකල වෙබ් අඩවියෙහි සේවය කරන මා හදිසියේ ම කැඳවා පරීක්ෂණ පැවැත්වීමට නියෝග කිරීම අප තේරුම් ගත යුත්තේ කවරාකාරයකින්දැයි "යහපාලනයේ" කිසිවකු අපට පැහැදිලි කරනු ඇතැයි ද අපි බලාපොරොත්තු නොවෙමු.

එසේම වෙබ් මාධ්‍යවේදීන් පොදුවේ අපහාසාත්මකව හැඳින්වෙන පරිදි අපි හුදෙක් 'කී බෝඩ් වීරයන් ද නොවෙමු. යුනිකෝඩ් අකුරු හෝ මුද්‍රිත අකුරුවලින් පමණක් නොව අවැසි විටෙක මහ මඟට බැස විරෝධය පාන්නටද අප එදත් අදත් මතුවටත් පසුබට වන්නේ නැත. එකක් නැවතත් කියමි. 'වැරදිකරුවන්' සොයන්නැයි අප කියද්දී ඔබ 'වැරදීමකින්' 'ක' යන්න මඟ හැරී අත තබා ඇත්තේ වැරදි 'රුවන්' කෙනෙකුටය. අපට අසන්නට ඇත්තේ එදා සිට ඇසූ ප්‍රශ්න මය. "මධුෂ්ක කෝ?" "ප්‍රගීත් කෝ?" "ලලිත්, කූගන් කෝ ?" "අතුරුදන් කරවූ අනෙත් පුද්ගලයින් කෝ ?" "ඔවුන්ව අතුරුදන් කරවූ අපරාධකරුවන් කෝ ?"

~ රුවන් නෙළුගොල්ල ( දේශපාලන සංස්කාරක )

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top