1150 x 80 px

ගෝඨාභය පෝද්දලට පෙර දැනුම් දීමකුත් කරලා !

සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමට මාස කිහිපයකට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්තව සහ සනත් බාලසූරියව ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා ඇති එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ "තොපි ඇවිල්ලා අවජාතක බල්ලෝ. රට ගැන කිසිම හැඟීමක් නැති එවුන්. තොපේ රැවුල් කපලා කටේ ඔබලා, අත පය කඩලා දානවා" යනුවෙන් තර්ජනය කර ඇත. මෙසේ ගෝඨා තර්ජනය කර ඇත්තේ මාධ්‍ය නිදහස වෙනුවෙන් මාධ්‍ය සංවිධාන මඟින් ගෙන යන උද්ඝෝෂණ නතර කරන ලෙස අදාල සාකච්ඡාවලදී පෝද්දලට සහ සනත්ට දැනුම් දීමෙන් පසු, ඔවුන් ඊට එරෙහිව තර්ක කිරීම නිසා කෝපයෙන් වියරු වැටීමෙන් අනතුරුවය. අවසානයේ අදටත් වගකිව යුතු කිසිවකු සොයාගෙන නොමැති වුවද සිදුවීම් සිදුවූයේ ගෝඨාභයගේ තර්ජනය පරිදිම ය.

2009 ජුනි 01 වනදා පෝද්දල ජයන්තව ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් රැවුල සහ කොණ්ඩය කපා කටේ ඔබා, පහර දී පාදයක් කඩා දමා අතපය බැඳ අංගොඩ ප්‍රදේශයේ අගලකට අතහැර දමා ගොස් තිබිණි. 2010 වසරේදී පෝද්දල මහතා ඇමරිකාව බලා ගියේ රාජපක්ෂලාගේ මාධ්‍ය දඩයම ඉදිරියේ ජීවිතාරක්ෂාව පතාය. තමන්ව පැහැරගෙන ගොස් පහරදී පාදයක් කඩා දැමීම පිළිබඳව පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව වලට දිගින් දිගට ම පැමිණිලි කළමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැණුනු හෙයින් ඔහු ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ පසුගිය ජුනි 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටියේය.

'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම පිළිබඳ නඩුවිභාගයට සහභාගී වන මෙන් කීත්ට රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද හරහා නොයෙක් වර දැනුම් දුන්නද ඔහු ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණ ක්‍රියාවලියට සහාය පළ කළේ නැත. කීත් ඕස්ට්‍රේලියාවට වී ගෝඨාභයට 'සිතින් පෙම් කරමින්' සිටිනවා විය යුතුය. තමුන් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීමේ පරීක්ෂණ, මාධ්‍ය මර්ධනය පිළිබඳව තවත් පරීක්ෂණ සමඟ බැඳී තිබියදී පවා කීත්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබේ. එවන් මොහොතක පෝද්දල ජයන්ත මහතා ඇමරිකාවේ සිට පැමිණ CIDයෙන් විමර්ශනයක් ඉල්ලා සිටීමත් විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමන් නැවත පැමිණෙන බවට ප්‍රකාශ කිරීමත් බෙහෙවින් අගය කළ යුතුය.

පෝද්දල ජයන්තට පහරදීම පිළිබඳ පරීක්ෂණ මින් පෙර පැවතියේ මිරිහාන පොලීසිය භාරයේ වන අතර මේ වන විට සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් භාරගෙන ඇති බවත් ඔවුන් විසින් සිය පරීක්ෂණ උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති අතර ඉදිරි කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් වාර්තා වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top