1150 x 80 px

වැට් ඉවරයි!

 

යෝජිත නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාවට නැංවීමත් සමඟ VAT බද්ද සරල කර එය ක්‍රමයෙන් ඉවත් කිරීමටත් වක්‍ර බදු හරහා ලබන බදු ආදායම ඉතා පහළ මට්ටමකට ගෙන ඒමටත් රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ බව වාර්තා කරමින් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට රාජ්‍ය බදු ආදායමින් 80%ක ප්‍රමාණයක් වක්‍ර බදු හරහා ලබා ගැනීම තුළ පහළ ආදායම් ලබන බහුතර ජනතාව වෙත එල්ල වී ඇති පීඩනය ඉවත්කර බදු ආදායමින් 20%ක ප්‍රමාණයක් නියෝජනය වන සෘජු බදු ආදායම වැඩිකර ගැනීම රජයේ අපේක්ෂාව වන බවය.

ඒ සඳහා එක් එක් පුද්ගලයා ලබන ආදායම් මත පදනම්ව බදු අයකිරීමේ ක්‍රමවේදයක් නව ආදායම් බදු පනත හරහා යෝජනා වී ඇති බවත් ඒ හැර නව පනත පිළිබඳ සාවද්‍ය මත පළකරණ පිරිස් සඳහන් කරන ආකාරයට සියලුම ජනතාව වෙත බදු වැඩිවීමක් මෙහි දී සිදු නොවන බවත් එම වාර්තා පෙන්වා දෙයි. එසේම පහළ ආදායම් ලබන බහුතර ජනතාවට සහන සැලසෙන ලෙස නව බදු පනත ක්‍රියාත්මක කිරීම අඩපණ කරන සැලසුම පිටුපස සිටින්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධී ආකාරයෙන් වත්කම් අත්කරගත් කල්ලි කිහිපයක් පමණක් බවත් එහි සඳහන්ය.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙරට ක්‍රියාත්මක වර්තමාන බදු ක්‍රමය අතිශය සංකීර්ණය. රටේ ජාතික ආදායමට ප්‍රධාන දායකත්වයක් දෙන බදු ප්‍රතිපත්තියේ ඇති දුර්වලතා හේතුවෙන් කඩින් කඩ වක්‍ර බදු සංශෝධනය කළද එය ඒ සෑම අවස්ථාවකම රජයත් ජනතාවත් දුෂ්කරතාවට පත්කර නැවත සංශෝධනය කරන්නට සිදුව ඇත. පසුගිය සමය පුරා මෙය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වු අතර ඊට කදිම නිදර්ශනය වන්නේද වැට් බද්ද සංශෝධනය කිරීමය. අවස්ථා ගණනක දී වැට් බද්ද මඟින් ආවරණය කර ඇති භාණ්ඩ සඳහා බදු සහන ලබා දී ඇති නමුත් ඒ තුළ පහළ ආදායම් ලබන ජනතාවට දැනෙන වාසියක් සිදු වූයේ නැත. ඒ බදු සහන ලබා දීම සහ රාජ්‍ය ආදායම් අඩුවකින් තොරව පවත්වා ගැනීම යන අරමුණු දෙක එකවර ඉටුකර ගැනීමට බලකෙරී ඇති පසුබිමත් එය නොවැලක්විය හැකි තත්ත්වයක් වන නිසාත්ය. එහෙයින් වැට් සහනය විවිධ දේශපාලන රස කතා පවත්වමින් භාණ්ඩ වෙත ලබාදීම සිදු වුවත් එසේ බදු අඩු කරනු ලැබූවේ සීමිත පිරිසක් පරිභෝජනය කළ භාණ්ඩ වර්ග කිහිපයක පමණය.

ආර්ථික වර්ධනය, රැකියා සම්පාදනය සහ දරිද්‍රතාව දුරු කිරීම සඳහා රජය මුල්වී ක්‍රියා කරන අතර ආයතන ව්‍යුහයන් ශක්තිමත් කරමින් තරගකාරිත්වය වැඩි දියුණු කොට රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාමටත් දේශාන්තර සබඳතා සම්බන්ධ වාණිජ කටයුතුවලට අදාළ ප්‍රතිපත්ති ද ඇතුළත් කර බදු ප්‍රතිපත්තිය නවීකරණය කරන්නටත් රජයට සිදුව තිබේ.

එම පසුබිමේ යෝජිත නව බදු පනත හරහා කෘෂි අංශයේ උපයන ආදායම මත පනවා ඇති බද්ද 14%ක්, සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන මත පනවා තිබෙන බද්ද 14%ක්, අපනයන මත පනවා තිබෙන බද්ද 14%ක්, හෝටල් ක්ෂේත්‍රය සඳහා පනවා ඇති බද්ද 14% ක් ලෙස යෝජනා කිරීම අඩු ආදායම් ලබන ජනතාව පීඩාවට පත්වන යෝජනා නොවේය. බැංකු, කර්මාන්ත, රක්ෂණ ව්‍යාපාර, ලීසිං ව්‍යාපාරවලින් අයකෙරෙන බදු අනුපාතය ඉහළ දැමීම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිෂ්පාදන අපනයනය, කන්ටේනර් ප්‍රතිඅපනයන කටයුතු 14% බද්දට යටත් කිරීමේ යෝජනාද එසේම පොදු ජනතාව වෙත සෘජුව බලපාන බදු ඉහළ දැමීම් නොවන බවත් එය වක්‍ර බදු අවම කර ආදායම් ලබන තත්ත්වය මත ඍජු බදු ආදායම් ඉහළ දමා ගැනීම ඉලක්ක කොට යෝජනා කරන ලද්දක් බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

තවද නව දේශීය ආදායම් බදු පනත ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ජනතාව මත බදු බර වැඩිකරන්නක් බවට ඇතැමුන් සාවද්‍ය පුවත් මවමින් ක්‍රියා කිරීම කනගාටුදායක බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. එසේ සාවද්‍ය පුවත් පතුරවන්නට කටයුතු කරන පාර්ශ්ව මොනවා සඳහන් කළත් අඩු ආදායම් මට්ටම්වල ඉන්නා ජනතාව වෙනුවෙන් ආරක්ෂණ දැලක් ලෙස නව බදු ක්‍රමය සකස් විය යුතු බවට ලෝක බැංකුව ජූනි මස අගදී නිකුත් කළ ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ වාර්තාව පෙන්වා දී ඇති බවත් එහෙයින් ජනතාව මේ දෙස විවෘත මනසින් බැලිය යුතුව ඇති බවත් අවධාරණය කර ඇත.

කාශ්‍යප කොතලාවල

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top