Untitled 1

නව විදුලි බලාගාරය දූෂිත ගනුදෙනුවකින් කොරියාවට පුදයි
කෙරවළපිටිය මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා කැඳවන ලද ටෙන්ඩරය දූෂිත ගනුදෙනුවක් හරහා කොරියානු සමාගමකට ලබා දීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් කණ්ඩායමක් හෙළිකර සිටින ආකාරයට මෙම විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා නිර්දේශ වී ඇති සමාගම් නොසලකා හැර වැඩිම මිලට ලංසු ඉදිරිපත් කර ඇති කොරියානු සමාගම වෙත එය ලබා දීමට ටෙන්ඩර් මණ්ඩලය ද නියෝජනය කරන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු අත්තනෝමතිකව බලපෑම් කරමින් සිටියි.
 
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 250 (කෝටි 375) පමණ මුදලක් වැය වන මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජාත්‍යන්තර තරගකාරීත්ව විවෘත ටෙන්ඩර් කැඳවීමක් හරහා ලබා දීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ඒ සඳහා සමාගම් අටක් ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති අතර ටෙන්ඩරය ලබා දීමට අදාළව විදුලි බල මණ්ඩලයේ සහ ‘ තාක්ෂණික ඇගයීම් කමිටුවක්’ විසින් එම සමාගම් අටෙහි තාක්ෂණික හැකියාවන් සම්බන්ධව වෘත්තීමය පරීක්ෂාවක් සිදු කර ඇත.
 
මෙම ඇගයීම සිදුවන අවස්ථාවේ දී පවා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියා එම තාක්ෂණික කමිටුවට බලපෑම් කරමින් එක් සමාගමකට විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට දන්වා ඇති නමුත් එය සැලකිල්ලට නොගෙන ඉහත සමාගම් අටෙන් සමාගම් හයක් දෙවන වටයේ ඇගයීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් යෝජනා කර ඇත. ඒ විදේශීය සමාගම් 3ක්, දේශීය - විදේශීය හවුල් සමාගම් 2ක් සහ එක් දේශීය සමාගමක් වශයෙන්ය.
 
එම තාක්ෂණික ඇගයීමෙන් පසුව මෙම ටෙන්ඩර් අයදුම් පත්‍ර විදුලි බල මණ්ඩලයට අදාළ ටෙන්ඩර් කටයුතු  පිළිබඳ අනුමැතිය ලබා දෙනු ලබන, රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය වෙත යොමුකර ඇත. එහි දී විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියා මැදිහත්ව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබූ සමාගම් හයෙන් පහක් නොසලකා හැර කොරියාවේ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම සඳහා වංචනික ලෙස කටයුතු කර ඇත. ඊට අනුව පසුගිය 13 වන දා එම සමාගම විසින් ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රිකාව පමණක් විවෘත කර අනෙකුත් සමාගම්වල මිල ගණන් විවෘත නොකර තනි ටෙන්ඩර් මිලකට අදාළ ගනුදෙනුව සිදු කිරීමට සූදානම් වුවත් ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් එය අත්හිටුවා ඇත.
 
එසේම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියා විවිධ තාක්ෂණික කාරණා මතුකරමින් තමන් යෝජනා කරන සමාගමට මෙම ටෙන්ඩරය ලබා දීමට යන්නේ ටෙන්ඩර් මණ්ඩලයේ අනුදැනුමකින් තොරව පෞද්ගලික මට්ටමෙන් කොරියාවේ සමාගම විසින් සිදු කළ විශේෂ කරුණු පැහැදිලි කිරීමක් පදනම් කරගෙන බවත් එයම පවා අදාළ සමාගම අසාදු ලේඛන ගත කිරීමට කාරණයක් වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
 
එසේම මෙම කොරියානු සමාගමේ උප සභාපතිවරයාට පසුගිය සමයේ දී කොරියාවේ හිටපු ජනාධිපතිනියට ව්‍යාපෘති අනුමත කිරීම සඳහා බිලියන ගණනක පගාවක් ලබා දීම හේතුවෙන් සිර ඳඩුවම් විඳීමට පවා සිදුවී ඇති බවත් එවැනි අපකීර්තිමත් සමාගමක් හමුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියාගේ මෙම මැදිහත්වීම ද සැක සහිත බව වැඩිදුරටත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
 
මෙම ව්‍යාපෘතියේ අරමුණ ඉදිරි වසර 25 දී ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාව සැපිරීම සඳහා මෙගාවොට් 350 ධාරිතාවකින් යුත් විදුලි බලාගාරයක් ඉදිකිරීම වන අතර ටෙන්ඩරය ලද සමාගම විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් කොට විදුලි බලය ජාතික පද්ධතියට ලබා දීම ආරම්භ කළ විට ශ්‍රී  ලංකා විදුලි බල මණ්ඩලය විසින් එම විදුලිය මිල දී ගනු ලබයි.
 
බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන ගණනක් වන අතර වැඩිම මිලට වංචනිකව මෙම ව්‍යාපෘතිය කොරියානු සමාගමට පැවරීම හරහා ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දුනහොත් රජයට වාර්ෂිකව රුපියල් මිලියන 15,000 පමණ අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීමේ අවදානමක් ඇත.
 
මේ පිළිබඳ අප විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය. බී.එම්.එස්. බටගොඩ වෙතින් කරුණු විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කර සිටියේ අදාළ ටෙන්ඩරයේ මතු වූ ගැටලුකිහිපයක් හේතුවෙන් එය කල්දමා ඇති බවය. එසේම තාක්ෂණික කමිටුව විසින් නම් කළ සමාගම් අදාළ ටෙන්ඩර් කොන්දේසි සියල්ල සපුරා ඇති සමාගම් නොවන බවත් එක් සමාගමක් පමණක් ටෙන්ඩර් කොන්දේසි සපුරා ඇති පසුබිමක අඩුපාඩු ඇති සමාගම් ද අවසන් වටය සඳහා එවීමට ඔවුන් කටයුතු කර ඇති බවත් ලේකම්වරයා පැවසීය. ඒ හේතුවෙන් ටෙන්ඩර් කොන්දේසි සපුරා නොමැති සමාගම් පිළිගැනීමට ටෙන්ඩර් මණ්ඩලය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රශ්නය මතුව ඇති බව සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම ටෙන්ඩරය හමුවේ තාක්ෂණික කමිටුවට, ටෙන්ඩර් මණ්ඩලයට සහ තමන්ට එකිනෙකට වෙනස් අදහස් ඇති බවත් ඒ සම්බන්ධව ඉදිරියේ දී විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් සැපයීමට තමන් කටයුතු කරන බවත්ය.
 
එසේම අදාළ ටෙන්ඩරය එක් සමාගමකට ලබා දීමට තමන් උත්සාහ කරන බවට යන කතාව තමන් ඉලක්ක කර එල්ලවන මඩ ප්‍රහාරයක් බවත් මෙම ටෙන්ඩරය පිරිනැමීමේ කටයුත්තේ දී තමන් කිසිම බලපෑමක් සිදු නොකළ බව ද ලේකම්වරයා පැවසීය.
 
කාශ්‍යප කොතලාවල 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top