1150 x 80 px

මහවැලි සෑය පෞද්ගලික ආයතනයකට පැවරීමට සංඝ රත්නයේ විරෝධය
මහවැලි ව්‍යාපාරයේ කොත්මලේ ජලාශයට යටවූ ගම්දනම් හා වෙහෙර විහාර වෙනුවෙන් ඉදිකළ කොත්මලේ මහවැලි මහ සෑය, පෞද්ගලික සමාගමක් යටතට ලබා ගැනීමට රජය කටයුතු කරන බව එම විහාරයේ භාරකාර විහාරාධිපති පුජ්‍ය තිස්පනේ ජිනාන්ද හිමියන් පැවසූහ.
මල්වතු මහා විහාරයේ ආශිර්වාද මත වර්ෂ 1983දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතා විසින් මෙම විහාරස්ථානය ආරම්භ කළ බවත් දේශපාලන හා පෞද්ගලික මත හේතුවෙන් වර්ෂ 1992 සිට වසර දහයක පමණ කාලයක් ඉදිකිරීම් අත්හිටුවූ විහාර භූමිය වල් වැදී තිබුණු බව මහනුවර දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමි පැවසූහ.
 
මහවැලි සංස්කෘතික පදනම් භාරය වෙත කැබිනට් පත්‍රිකාවකින් කොත්මලේ මහවැලි මහ සෑය පවර ගැනීමට උත්සහ කිරීම පිළීබදව මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.
 
එහිදී අදහස් පළ කළ කොත්මලේ මහවැලි මහ සෑ භාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමියන් මෙසේ සදහන් කළහ.
 
වසර දහයක පමණ කාලයක් මෙම සිද්ධස්ථානය වල් වැදී ජරාවාස වෙමින් තිබුණා. ඒ නිසා මල්වතු මහා විහාරය ද කොත්මලේ මහා සංඝරත්නය ද එහි ජනාතාව ද මෙම විහාරය ගොඩනගන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මගේ මූලිකත්වයෙන් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය හා එවකට මහවැලි අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතාගේ ආශිර්වාද මත සෑය ගොඩ නැගීමේ කටයුතු යළි ආරම්භ කළා. වත්මන් අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සහයෝගය ද මේ සදහා නොමසුරුව ලැබුණා. 
 
සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සදහා මහවැලි සංස්කෘතික පදනම් භාරය නමින් පදනමක් සකස් කළ අතර එහි සභාපති බවට පත්වුණේ වත්මන් අමාත්‍ය නවීන් දිසානායක මහතායි. රජයේ මෙන්ම විවිධ දානපතියන්ගේද සාමාන්‍ය පොදු ජනතාවගේ ද ආධාර ඇතිව ඉදිකිරීම් නිම කරන ලද සෑය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 2016දී සග සතු කළා. නමුත් අද වන විට මහා සංඝරත්නය ඉවත් කොට එම සෑය කැබිනට් ප්‍රත්‍රිකාවක් මගින් මහවැලි සංස්කෘතික පදනම් භාරය යටතට පවරා ගැනීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු කරන බව උන්වහන්සේ සදහන් කළහ.
 
මල්වතු මහා විහාර පාර්ශවයේ දෙනුවර ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරිබත්කුඹුරේ සීවලී හිමියන් එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
 
කොත්මලේ මහවැලි මහ සෑය දෙවන වර සංවර්ධනය කිරීමේ කාර්යයේදී වර්ෂ 2002 ජනවාරි මස 29 වන දින මමත් එහි ගියා. ඒ ස්ථානය වල් වැදී තිබුණා. අඩි පාරකින් තමයි යන්න තිබුණේ. එහි තිබුණේ මහා පස් කන්දක්. සංවර්ධනය කිරීමේ  අවස්ථාවට නවීන් දිසානායක අමාත්‍යවරයා, ඔහුගේ මැණියන් හා සහෝදරයා සහභාගීවී සිටියා.
 
එදින පැවැති උත්සව සභාවේදී මෙම සෑය කඩිනමින් ඉදිකරන ලෙස අපි අමාත්‍යවරයගෙන් ඉල්ලා සිටියා. එතැන් පටන් මහා සංඝරත්නය පෙරමුණ ගෙන කඩිනමින් සෑය ඉදිකිරිමේ කටයුතු සිදුකළා. ඒ අවස්ථාවේ සිට මහා සංඝරත්නය වස් වසා විනයානුකූල කටයුතු කළ අතර මේ නිසා කොත්මලේ මහ සෑ පරිශ්‍රය සාංඝික ස්ථානයක් බවට පත්ව තිබෙනවා. 
 
මෙහ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කළා. සෙසු ඉදිකිරීම් සියල්ල සිදුකළා. නමුත් මෑතක සිට පාර්ලිමේන්තු පනතක් මගින් විහාරය පවරා ගැනීමට  මහවැලි සංස්කෘතික පදනම් භාරය කටයුතු කරනවා. එහි සභාපතීත්වය දරන්නේ අමාත්‍ය නවීන් දිසානායක මහතායි. 
 
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිරුන්ගේ ඔළුව මෑතක සිට නරක්වෙල දැයි අපට සිතෙනවා. පන්සල් පවරා ගැනීමට උත්සහ කරනවා. පිං කැට සීල් කරනවා. පන්සල්වල දේපොල අත්පත් කර ගැනීමට උත්සහ කරනවා. දඹුල්ල රජ මහ විහාරය, කන්දේ විහාරයට සිදුවූ තත්ත්වයක් කොත්මලේ මහවැලි මහ සෑයට සිදුවන්න දෙන්න එපා. 
 
භික්ෂූන් වහන්සේ සදහා සාංඝිකව පූජා කළ දේ අත්පත් කර ගැනීමට උත්සහ කිරීම සුදුසු දෙයක් නොවන බවයි අපේ හැගීම. මල්වතු හා අස්ගිරි මහා විහාරවල ලිඛිත නියෝග පවා නොසලකා හරිමින් කටයුතු කරන බවයි අපිට පෙනී යන්නේ. කොත්මලේ මහවැලි මහ සෑයේ සංවර්ධන කටයුතුවලදී එහි විහාරාධිපති හිමියන්ට බාධාවකින් තොරව කටයුතු කර ගැනීමට අවස්ථාව සලසන ලෙස 2017.02.17 වන දින මල්වතු මහා නායක හිමියන් අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. නමුත් ඒ දැනුම්දීම නොසලකා කටයුතු කරන බවයි අපිට පෙනී යන්නේ. රජයේ කීර්ති නාමය විනාශ කරන මැති ඇමතිවරුන් පිළිබද අවදානය යොමු කරන බව ජනාධිපති අගමැතිවරයාගෙන් අප ඉල්ලා සිටිනවා. 
 
වර්ෂ 2336ක කාලයක් මහා සංඝරත්නය මෙරට රාජ්‍ය පාලනයට උපදෙස් අනුශාසනා ලබා දෙනවා. රජවරු පත් කිරීමට මෙන්ම රජවරු බලයෙන් පහ කිරීමට අතීතයේදී මහා සංඝරත්නය කටයුතු කළ බව පූජ්‍ය කිරිබත්කුඹුරේ සීවලී හිමියන් වැඩිදුරටත් පැවසීය.
 
හරංගල ශ්‍රී කල්‍යාණවර්ධනාරාමාධිපති පූජ්‍ය හරංගල සිරිරතන හිමියන් අදහස් දක්වමින්, මෙම ස්ථානයේ අක්කර 40ක් තිබෙනවා. මේ දේපොල අත්පත් කර ගැනීමටයි ඔවුන් උත්සහ කරන්නේ. පන්සලට අක්කර 40ක් අවශ්‍ය නැහැ. අක්කර 05ක් තිබුණොත් ඇති. ඉතිරි ප්‍රමාණයෙන් ඉඩම් නොමැති දුක්පතුන්ට නිවාස ඉදිකර දීම සුදුසුබවයි මම යෝජනා කරන්නේ. 
 
මෙම විහාරස්ථානය ආරම්භ කරන අවස්ථාවේ සිට මම ඒ වෙනුවෙන් සිටියා. අවුරුදු 10ක් ගරා වැටිලා තිබුණු අවස්ථාවේ කවුරුත් ඒ වෙනුවෙන් කථා කළේ නැහැ. දැන් විහාරය අයිති කර ගන්න හදනවා. මේ කාර්යය නතර නොකරන්නේ නම් කොත්මලේ මහවැලි මහ සෑයේ ඇත්ත තත්ත්වය ඉදිරියේදි ලොවට මෙවැනි මාධ්‍ය හමුවක් මගින් හෙළි කරන බව පූජ්‍ය හරංගල සිරිරතන හිමි ප්‍රකාශ කළේය.
 
කොත්මලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය මාදන්වල සෝමානන්ද හිමි, හල්ගොල්ල ශ්‍රී ධර්මවිජයාරාමාධිපති පූජ්‍ය රාවණාගොඩ ධම්මාලෝක හිමි, කැටතුලාවේ ශ්‍රී  බුද්ධරශ්මි විහාරාධිපති පූජ්‍ය කන්තලේ සුමංගල හිමි සහ එක්සත් ජාතික පක්ෂයේ කොත්මලේ ආසන සංවිධායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අශෝක හේරත් මහතා ද මෙහිදී අදහස් පළ කළෝය.
 
නුවර නදීක දයා බණ්ඩාර
 
kotmale stupa

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top