1150 x 80 px

නෙවිල් ප්‍රනාන්දු රෝහල හෙට සිට ජනතාවට
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම හෙට (17) සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී පැවැත්වෙන උත්සවයකදී රෝහල රජයට පැවරීම සිදුකිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යංශයට පවසන්නේ රෝහලේ සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු පළමුවැනිදා සිට ආරම්භ කරන බවයි. අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව අනාවරණය කළේය.
 
ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත මෙම රෝහල රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.
 
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න ඇමතිවරයා,
 
'එම රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5 ක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා. ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියලුම අංගෝපාංග එම රෝහල සතුයි. රෝහල ඉදිකිරීම සදහා ලබාගත් බැංකු ණය සියල්ලම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබනවා. මෙය දානමය පරිත්‍යාගයක්. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එය අගෝස්තු මස 01 සිට ක්‍රියාත්මක කරනවා. සයිටම් වෛද්‍ය පීඨයේ එක් ගැටලුවක් වන රෝහලට රෝගීන් නැතිවිමේ ප්‍රශ්නය මෙමගින් විසදන්න පුළුවන්.'
 
'නැගෙනහිර කොළඹ ජනතාවට මහ රෝහලක අවශ්‍යතාවයක් ද තිබුනා. විහේෂඥ වෛද්‍යවරු 44 ක් මෙහි සේවය කරනවා. තවත් වෛද්‍යවරු 70 කට අධික සංඛ්‍යාවක් මෙහි සේවය කරනවා. අඩුපාඩු සකස් කරමින් මහජන සේවාවන් සදහා එය විවෘත කිරීමේදී විශාල ජනතාවකට සෙත සැළසෙනවා. තව ද විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132 ක මුදල ඉතිරිකර ගැනීමට හැකියාව ලැඛෙනවා. මෙමගින් තවත් ආයෝජන ව්‍යාපෘති ලැඛෙන්න පුළුවන්. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සියයට 100 ක් ම දේශීය ආයෝජනයක් වීම ද වැදගත්.'

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top