1150 x 80 px

'වඳ මදුරුවන්' මුදාහැර ඩෙංගු වළකමු!

 

බැක්ටීරියාවක් ආසාදනය කළ වඳ- පිරිමි මදුරුවන් මිලියන ගණනක් ගූගල් හි මව් සමාගම විසින් ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදය වෙත මුදා හැර තිබේ. මෙය, ඇමරිකානු ඉතිහාසයේ මේ ක්ෂේත්‍රය අළලා සිදුකරන විශාලතම ක්ෂේත්‍ර පරීක්ෂාව මෙන්ම ඩෙංගු සහ සිකා වෛරස් රෝගය මැඬලීම පිණිස ඉතිහාසයේ සිදුකරන දැවැන්තම පරිශ්‍රමයක කොටසක් ද වේ.

වඳ පිරිමි මදුරුවන් මිලියන 20 ක්
ගූගල් හි මව් සමාගම ඇල්ෆබට් ය. ඇල්ෆබට් හි ජෛව විද්‍යා අංශය වෙරිලි නම් වේ. මෙම මදුරුවන් මුදාහැරීම සිදුකරන්නේ වෙරිලි සමාගම විසින් සිදුකරන්නේ මෙසේ ය. වෙරිලි හි පර්යේෂකයන් විසින් සෑම සතියකම බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් මිලියනයක් බැගින් මුදා හරින ස්වයංක්‍රීය විද්‍යාගාරයක් නිර්මාණය කර ඇත. මෙකී විද්‍යාගාරය, අධි තාක්ෂණික මදුරු තවානක් ලෙස ද හඳුන්වා දෙන්නට පුළුවන. එහි මදුරුවන් ජනනය කිරීම භාරව සිටින්නේ රොබෝවකි. මෙම විද්‍යාගාරය තුළ බිහිවන මදුරුවන්, වොල්වොෂියා නමැති බැක්ටීරියාවෙන් ආසාදනය කර තිබේ. මෙම බැක්ටීරියා ආසාදනයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙකී පිරිමි මදුරුවන් ගේ ප්‍රජනන හැකියාව සහමුලින්ම නැති වී ඇත. බැලූ බැල්මට මෙය යම්කිසි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කොටසක් ලෙස පෙනී යන්නට පුළුවන. නමුත් වඩාත් නිවැරදිව කියන්නේ නම් මෙය විද්‍යා ප්‍රබන්ධයක් සැබෑ වූ අවස්ථාවකි. මේ වන විටත් මෙම රොබෝ විද්‍යාගාරය විසින් ඇමරිකාවේ කැලිෆෝනියාවේ ෆ්‍රෙස්නෝ කන්ට්‍රි ප්‍රදේශයට වන්ධ්‍යාකරණයට ලක් කළ පිරිමි මදුරුවන් මිලියන 20 ක් දෙනා මුදා හැර තිබේ.

වෙරිලි සමාගම මෙම ව්‍යාපෘතිය පිළිබඳ මුලින්ම කරුණු හෙළි කර සිටියේ පසුගිය ඔක්තෝබරයේ ය. ඩෙංගු සහ සිකා රෝගය මැඬලීම මෙමගින් සාර්ථක ලෙස කළ හැකි බව ඔවුන් විසින් තහවුරු කර තිබේ. පිරිමි මදුරුවන් ශාක යුෂ උරා බොන්නන් ය. එනම් ශාක භක්ෂකයන් ය. උන් මිනිසුන්ට දෂ්ඨ නොකරයි. මිනිසුන්ට දෂ්ට කරන්නේ ගැහැනු මදුරුවන් ය. නමුත් වොල්වොෂියා බැක්ටීරියාවෙන් ආසාදනයට ලක්වී සිටින පිරිමි මදුරුවන් සහ එකී ගැහැනු මදුරුවන් අතර සිදුවන ප්‍රජනනයේදී, පිරිමි මදුරුවන් වඳ භාවයෙන් පෙළෙන නිසා ඉදිරි පරම්පරාවක් බිහිවන්නේ නැත. එනම් බීජ හටගැනීමක් නොවන බැවින් ඒවා මදුරු කීටයන් බවට විකසනය වීමක් නැත. වෙරිලි හි ස්වයංක්‍රීය විද්‍යාගාරයට මෙහිදී පැවරී තිබෙන වගකීම් ද්විත්වය වන්නේ, පිරිමි මදුරුවන් පමණක් අභිජනනය කිරීම සහ උන් ව පෙර කී බැක්ටීරියාවෙන් ආසාදනය කිරීමයි. මෙම බැක්ටීරියාව ස්වභාවිකව පරිසරයේ පවතින්නක් මිස කෘතිමව නිපදවා ගන්නක් නොවන හෙයින් මේ සඳහා ඔවුන්ට වැය වන්නේ අඩු වියදමකි. තවද මෙම විකරණය කළ මදුරුවන් පරිසරයට මුදා හැරීම මගින් පරිසර පද්ධතිවලට හානියක් සිදුනොවන බව ඇමරිකාවේ පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (ඊපීඒ) මගින් ද තහවුරු කර තිබේ. එය ඉතා ප්‍රශංසනීය කාරණයකි.

වෙරිලි හි ජේ්‍යෂ්ඨ ජෛව ඉංජිනේරු ලීනස් අප්සන් මෙසේ කියයි. “අපට ලෝකයෙන් මෙම වසංගත රෝග නැති කිරීමට අවශ්‍ය නම් අප වැඩි වැඩියෙන් මදුරුවන් නිෂ්පාදනය කළ යුතුයි. තවද ඉතාම අඩු වියදමකින් මේ තාක්ෂණය ලොව පුරා ප්‍රචලිත කළ යුතුයි.”

සැබවින්ම සිදුවිය යුත්තේ ද එයයි. මේ වන විට ශ්‍රී ලංකාව ඩෙංගු වසංගතයේ ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් සිටියි. රට තුළ උද්ගත ව තිබෙන්නේ ජාතික ආපදාවකට නොදෙවෙනි හදිසි තත්ත්වයකි. කියුබාවෙන් ගෙන්වන බැක්ටීරියා මදුරුවෙකුගෙන් ඩෙංගු සහමුලින් මර්දනය කළ හැකි බව කියමින් අපේ රට සැනසුණු යුගයක් ද විය. පසුව දැනගන්නට ලැබුණේ ඒ සඳහා අති විශාල වියදමක් යන බැවින් එය සිද්ධ නොවෙනා බවයි. ගැටලුව වියදම නම්” ඩෙංගු මර්දනය කරන්නට රටක් වශයෙන් අපට දැන් ඇති වී තිබෙන උවමනාව සලකා බලා මේ නව අඩු වියදම් ක්‍රමය වෙත බලධාරීන්ගේ ඇස වහා යොමුවිය යුතුව තිබේ.

-අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top