1150 x 80 px

 

අධ්‍යාපන සේවාව සංවෘත්ත සේවයක් බවට පත් කළද කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් ගෙන නැත - ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව
2017 දෙසැම්බර් මස පැවති දුම්රිය වැඩ වර්ජනය අවසන් කරමින් දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත්ත සේවා බවට පත් කරන බව ප‍්‍රකාශ කළ ද අධ්‍යාපන සේවාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ඉදිරි පියවරක් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ වැටුප් කොමිසම හෝ ප‍්‍රකාශයට පත් කොට නැත.
ශ්‍රී ලංකා ගුරු සේවය හා විදුහල්පති සේවය ඇතුළු අධ්‍යාපන සේවාවන් සමස්ත වැටුප් ක‍්‍රමයෙන් වෙන් කර වැටුප් සකස් කළ යුතු බව 2008.10.06 දින නිකුත් කරන ලද එස්සීඑෆ්ආර් 282/2008 නඩු තීන්දුවෙන් ප‍්‍රකාශයට පත් කොට තිබුණි. මේ දක්වා එය ක්‍රියාත්මක නොකළ අතර, දුම්රිය වැඩවර්ජනය අවසන්වීමේදී කැබිනට් ප‍්‍රකාශකවරු දෙපළ ඉහත ප‍්‍රකාශය කරන ලදී. 
 
1994 ගුරු සේවය පිහිටුවීමත් සමග ලබාදුන් වැටුප් පියවරයන් 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිසමෙන් අහෝසි කිරීමෙන් ඇති වූ වැටුප් විෂමතාවය 2006 වැටුප් කොමිසමෙන් නිවැරදි නොවීම මත වැටුප් විෂමතාවය නිවැරදි කරන ලෙස සිදුකළ උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගය පෙරට ගන්නා ලදී. එම අවස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ගය මර්දනය කිරීම සඳහා ගුරු සංගම් නායකයින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළහ. ඒ සම්බන්ධයෙන් ගෙනගිය අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් වූයේ ගුරු සේවය වෙනම සේවාවක් බවට පත් කළ යුතු යන තීරණය ලබාදෙමිනි. 
 
එය ක්‍රියාත්මක නොවූ පසුබිමක 2017 දෙසැම්බර් 13 දින නැවත ගුරු සේවය සංවෘත්ත සේවාවක් බවට පත් කරන බව ප‍්‍රකාශ කළද අධ්‍යාපන බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් ප‍්‍රකාශ නොකරන තත්වයක් පැනනැගී ඇත. ගුරු-විදුහල්පති වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කොට ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් නොවුවහොත් ඉදිරියේදී නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කර සිටිමු. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top