1150 x 80 px

 

සුදුසු පුද්ගලයන් පළාත් පාලන ආයතන සඳහා පත්කිරීම් දේශපාලනඥයන්ගේ වගකීමයි - මාර්තු 12 ව්‍යාපාරය
වැඩි ඡන්ද ප‍්‍රතිශතයකින් යුත්, ප‍්‍රචණ්ඩක‍්‍රියා අවම තවත් එක් මැතිවරණයක් පසුගියදා අවසන් විය. එය මෙරටේ සාමකාමී පුරවැසි ප‍්‍රජාවේ සතුටට හේතුවනවා නොඅනුමානය. එය නිසැකවම මෙරටේ මැතිවරණ ඉතිහාසය ලියා තබන්නෙක් නොවලහා ලියා තැබිය යුතු පරිච්ජේදයකි. එකී වර්ණවත් පරිච්ඡේදය අනාගතයේ දී පුනරුච්චාරණය කරනු ඇත්තේ මෑත කාලීනව මෙරටේ පැවති සාමකාමී ම මැතිවරණය එය බවත්, අපේක්ෂකයන්ගෙන් බහුතරයක් මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ලද්දේ තමන් හට නිරායාසයෙන් හිමිවිය යුතුව තිබූ ”සමබිමක” සිටිමින් බවත්ය.
කරුණු එසේ වුවද, පශ්චාත් මැතිවරණ සමය තුළ වාර්තා වෙමින් පවතින සිද්ධීන් පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරය තම බලවත් කණස්සල්ල යොමු කර සිටී. පූර්ව මැතිවරණ සමයේ හා මැතිවරණ දිනයේ තමන් සතු කර ගෙන තිබූ ග‍්‍රහණය පොලීසිය ඉතා සීඝ‍්‍රයෙන් ලිහිල් කර ඇති බවක් බැලූ බැල්මට පෙනී යන්නේ යැයි සටහන් කළ යුතුව ඇත. ඊට අමතරව මාර්තු 12 ව්‍යාපාරය තම සුවිශේෂී සැළකිල්ල යොමු කර ඇති අනෙක් ප‍්‍රධානතම කරුණ වන්නේ වත්මන් පළාත් පාලන ආයතන ස`දහා සභිකයින් නම් කිරීම පිළිබ`දවය.  
 
නව මැතිවරණ ක‍්‍රමයට අනුගතව සභිකයන් තේරීම සපුරා සමානුපාතික ක‍්‍රමවේදයක් යටතේ සිදුවන අතර ඉන් 40% ක හෙවත් අමතර ලැයිස්තුව යටතේ තේරීම සිදුවන්නේ ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරයාගේ හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාගේ අභිමතයට අනුවය. මෙවන් ක‍්‍රමවේදයකදී  වක‍්‍රාකාරව වඩාත් බලවත් වන්නේ අදාළ මැතිවරණ කොට්ඨාශයේ ප‍්‍රධාන සංවිධායකවරයාය යන්න අතිශයෝක්තියක් නොවේ. තවද අමතර ලැයිස්තුව මගින් පිළිබිඹු විය යුත්තේ ජනතා අභිමතය විනා පක්ෂ සංවිධායකවරුන්ගේ රුචි අරුචිකම් නොවන බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කර සිටී.  
 
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පූර්ව නාම යෝජනා සමයේ සිට ම මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරන ලද්දේ ඒ ඒ දේශපාලන පක්ෂ මගින් තෝරා ඇති අපේක්ෂකයන් අතර සිටින අපරාධකාරී මෙන්ම සමාජ විරෝධී චර්යාවන් පවතින පුද්ගලයන් සභිකයන් ලෙස නොතේරීමට වගබලා ගන්නා ලෙසය. ඒ අනුව මෙවර ජනතා අභිමතය ලැබී ඇති සභිකයන් තෝරා ගැනීමේදී ඡන්දදායකයන් මාර්තු 12 ව්‍යාපාරය මගින් ඉදිරිපත් කළ නිර්ණායක මත පදනම් වී ඇති දැයි සෙවිය යුත්තේ සමස්ත මැතිවරණ පිළිබඳ පුළුල් සාමලෝචනයකින් අනතුරුවය. 
 
එතෙක්, මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් තවදුරටත් ස්ථාපිත කළ හැකිය යන  අධිෂ්ඨානයෙන් පසුවන දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් මෙන්ම ප‍්‍රධාන ආසන සංවිධායකවරුන්ගෙන් පහත සඳහන් ආයාචනය කිරීමට කැමැත්තෙමු. 
 
01. අමතර ලැයිස්තුව යටතේ පක්‍ෂ ලේකම්වරුන්ගේ අභිමතයට යටත්ව තෝරා ගැනීමට නියමිත සභාපතිවරුන්, උප සභාපතිවරුන් සහ සභිකයන් තේරීමේදී ඔවුන් සතු මූල්‍ය ශක්තිය හෝ තමන් වෙත පවත්නා අවනතභාවය පිළිබඳ සැලකිල්ලක් නොදැක්විය යුතු අතර ඔවුන් සතුව නිසි අධ්‍යාපන පසුබිමක් පවතීදැයි යන්න සොයා බැලිය යුතුය
 
02. අභිනව සභාපතිවරුන් හා උප සභාපතිවරුන් නම් කිරීමේදී දේශපාලන පරිචයක් හා සමාජ පිළිගැනීමක් සහිත සභික සභිකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඒ ඒ දේශපාලන පක්ෂවල සංවිධායකවරුන්ගේ ඥාතීත්වය හෝ මිත‍්‍රත්වය එකී තනතුරු සඳහා තෝරාගැනීමේ නිර්ණායකයක් නොවිය යුතුය. 
 
03. කාන්තා අපේක්ෂිකාවන්, සභිකයන් ලෙස නම් කිරීමේදී ඔවුන්ගේ හැකියාවන් හා දේශපාලන අවබෝධය පදනම් කරගත යුතු අතර ඔවුන් පිළිබඳ පවත්නා අනිසි පක්‍ෂපාතීකම් ඇතුළු වෙනත් අවශේෂ කාරණා මුල් කර ගැනීමෙන් වැළකිය යුතුය. 
 
04. සමාජ විරෝධී චර්යාවන්ගෙන් මෙන්ම පූර්ව මැතිවරණ සමයේ විවිධ අල්ලස් හා සංග‍්‍රහ ආදිය ලබාදෙමින් ඡන්ද අයාචනය කරන ලද අපේක්‍ෂකයන් සභිකයන් ලෙස පත් නොකිරීමට වග බලා ගත යුතුය. 
 
සභිකයන් තේරීම සමස්තයක් ලෙස සමානුපාතික ක‍්‍රමවේදයක් යටතේ පැවතිය ද 40% ක සභිකයන් ප‍්‍රමාණයක් පත්වන්නේ සෘජු ඡන්දයෙන් නොවන බැවින් එකී නියෝජනය සඳහා සභිකයන් තේරීමේදී සැලකිලිමත් විය යුතු ප‍්‍රධාන කරුණ වන්නේ එක් එක් සභිකයා සතු දක්‍ෂතාවය හා විශේෂඥභාවයයි. පළාත් පාලන ආයතන ඉදිරියට පවත්වා ගැනීමේ දී වඩා වැදගත් වන්නේ පළාත් පාලන විෂය ක්ෂේත‍්‍රයට අදාළ විශේෂඥභාවයක් සහිත පුද්ගලයන් ප‍්‍රමාණයක් මහජන නියෝජිතයන් ලෙස සාමූහික තීරණ ගැනීමයි. සභිකයන් නම් කිරීමේදී මෙම කරුණ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුය. 
 
පිරිසිදු දේශපාලනයක් නිර්මාණය කිරීම නම් වූ උත්තුංග බලාපොරොත්තුව තව දුරටත් ශේෂ වන්නට නොදී එය තම ප‍්‍රමුඛතම දේශපාලන අභිලාශය බවට පත්කර ගන්නා ලෙස මාර්තු 12 ව්‍යාපාරය සියලූ දේශපාලන පක්‍ෂ වෙත සිහි කරන අතර ඒ සඳහා ගත හැකි අවසන් උත්සාහය ගත යුත්තේ එළඹෙන දින කිහිපයේදී බව ද අවධාරණය කරන්නට කැමැත්තෙමු.
මෙරටේ පිරිසිදු දේශපාලන සමාජ සංස්කෘතියක් ගොඩනැගීම පුරවැසියන් එකිනෙකා වෙන්වෙන්ව නොව සාමූහිකව සිදු කළ යුත්තකි. එවන් අපේක්‍ෂාවන් මල්ඵල ගැන්විය හැක්කේ දේශපාලන පක්‍ෂ නායකයන් ගන්නා ප‍්‍රගතිශීලී පියවර ඔස්සේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top