1150 x 80 px

සිසු ක්‍රියකාරීන් හත් දෙනෙකු සිරගත කරලා
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් හත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර ඇත.
මෙසේ සිරගත කරනු ලැබුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් මධුරංග, කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් මඩුගල්ලේ බුද්ධරක්ඛිත හිමි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රත්කරව්වේ ජිනරතන හිමි, සූරියවැව සුසීල හිමි, කෝෂිලා හංසමාලි සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත සනත් බණ්ඩාර යන අයයි.
 
කැලණිය විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන් අට දෙනෙකු සිරගත කිරීමට එරෙහිව පැවති පාගමන සම්බන්ධයෙන් පැවති නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී, ඊයේ දින අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීමට එරෙහිව පැවති පාගමන සම්බන්ධයෙන් පොලීසිය කරන ලද කරුණු ඉදිරිපත් කිරීමට අනුව මෙම සිරගත කිරීම සිදුකර ඇත.
 
මෙයින් පැහැදිලි වන කාරණය වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විකිණීම බවත් ඊට එරෙහි වන්නන් මොනයම් හෝ අකාරයකට මර්දනය කොට එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්ය. ඒ අනුව පසුගිය කාලය පුරා ශිෂ්‍ය උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණ නියෝග ගැනීම්, නඩු පැවරීම්, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සිදුවිය. නමුත් සැබෑ ප්‍රශ්නය වන අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීම සම්බන්ධව සාකච්ඡාවක් හෝ ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැත. එසේ තිබියදී අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීමට එරෙහිව ඊයේ පැවති විරෝධතාවයට ආණ්ඩුව පොලීසිය යොදාගනිමින් ම්ලෙච්ඡ ප්‍රහාරයක් එල්ල කරන ලදී. මාලබේ සයිටම් හොර උපාධි කඩය හා ඊට අනුබද්ධ ශික්ෂණ රෝහල තුළ සිදුවන වංචා, දූෂණ, මිනීමැරුම් පිළිබඳ කොතෙකුත් සිදුවීම් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වනතුරු නීතිය ක්‍රියාත්මක වී නොමැත. මෙරට ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ බලධාරීන් කටයුතු කරනුයේ එම ආයතන ආරක්ෂා කිරීම සඳහායි. නමුත් ඊට එරෙහිවූවන් අද සිරගත කර ඇත.
 
රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයයි. රටේ ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම වෙනුවට ඔවුන්ගේ ධනපති පංති වුවමනාව මත ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කර ඇත.
 
එමනිසා මෙසේ සිරගත කළ සියලු දෙනා නිදහස් කිරීමට අපි ආණ්ඩුවට බලකර සටින අතරම මෙකී සිරගත කිරීම්වලින් කිසිදු ලෙසකින් අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීමට එරෙහි අරගලය නතර නොකරන බවටත් එය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ආණ්ඩුවට දැඩි අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top