1150 x 80 px

සරසවිවල සමහර පාඨමාලාවලට බඳවා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවෙලා

පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමහර පාඨමාලා සඳහා බඳවා ගැනීමට නියමිතව තිබූ ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව සැබැවින්ම බඳවා ගන්නා ලද සංඛ්‍යාවේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව සමාජ සමානාත්මතාව සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු (University Teachers for Social Equality)බඅවධාරණය කර සිටී. විශේෂයෙන් විද්‍යාපීඨ සහ කෘෂිවිද්‍යාපීඨවල පසුගිය වසර කිහිපයක් තිස්සේ 20-30 % අතර පුරප්පාඩු පවතින බවත් මෙම ගැටලුව විසඳීම සඳහා අදාල බලධාරින් මෙතෙක් ඵලදායි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත්ව ඇති බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ම නිකුත්කොට ඇති සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කිරිමේදී මෙම ගැටලුවේ ඇති බරපතල කම මැනවින් වටහා ගත හැකි අතර මෙම තත්වය ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙමින් බවතින බවද නිරික්ෂණය කල හැක. පසුගිය උසස් අධ්‍යාපන ඇමැතිවරයා මෙන්ම වත්මන් උසස් අධ්‍යාපන ඇමති වරයා ද විවිධ අවස්ථාවන්වල සංඛ්‍යා ලේඛණ උපුටා දක්වමින් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නංවන බව ප්‍රකාශ කොට ඇත. එහෙත් එම ප්‍රකාශ සාවද්‍ය බවත් එම සංඛ්‍යා ලේඛණ වලට අනුකූලව සැබැවින්ම බඳවා ගැනීම් සිදු නොවන බවත් ඇතැම් පාඨමාලා සඳහා කෙරෙන බඳවා ගැනීම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් මින් පැහැදිලිය.

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ඇතැම් පාර්ශයව ගොඩ නගන තර්කය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම් පුලුල් කිරීමට අවශ්‍ය පහසුකම් සහ ඉඩ ප්‍රස්ථා නොමැති බවයි. නමුත් ඉහත සංඛ්‍යාලේඛණ අපට පෙන්වා දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ඉඩ පහසුකම් වලට අනුකූලව බඳවා ගැනීම් නොකෙරෙන බවයි.

මෙම තත්වය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යාමට මුදල් නොමැති එහෙත් උසස් අධ්‍යාපනය සඳහා කැමැත්තෙන් සිටිින විශාල පිරිසකට අවස්ථාව අහිමි කොට ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා යොදවන සීමිත ජනතා බදු මුදල් වලින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව ද අහිමි කොට ඇත. එහි බරපතල කම වඩාත් වැඩිවන්නේ සිය අනාගතය සාක්ෂාත් කර ගැනීමට උසස් අධ්‍යාපනය හැර අන්යමක් නොමැති අහිංසක දූ දරුවන් රැසකටු සිය අවස්ථාවන් අහිමි වීමයි.

මෙම ගැටලුව පැන නැගී ඇත්තේ අදාල බලධාරීන් ගේ අකාර්යක්ෂමතාව නිසාම පමණක් නොවේ. අ පො. ස (උ.පෙ) විභාග පැවත්වීමේ හා ඇගැයීම් ක්‍රියාවලිය, බඳවා ගැනීම් සිදු කරන ක්‍රමය කාලය එහි අඩුපාඩු ආදී විවිධ හේතූන් මෙම තත්වය ත්‍රිව්‍ර කිරීමට හේතු වී ඇත.

සමාජ සමානාත්මතාව සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස අප ඉල්ලා සිටින්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨ සහ කෘෂිවිද්‍යාපීඨවල ඉඩ පහසුකම් වලට සරිලන ලෙස නවක සිසුන් බඳවා ගැනීමට කටයුතු කරන ක්‍රමවේදයක් වහාම ඇති කරන ලෙසය. එමෙන්ම උසස් අධයාපනයෙන් සිසුන් ඈත් කර තැබීමට මුල් පාදන අපගේ විභාග හා බඳවා ගැනීම් ක්‍රියාවලිය වෙනස් කිරීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. මෙම තත්වය ඇති කර ගැනීම සඳහා වහාම මැදිහත්වන ලෙස නිදහස් අධ්‍යාපනය සහ එහි සුරක්ෂිතතාව අගයන සියලු පාර්ශව වලින් ද ඉල්ලා සීටීමට කැමැත්තෙමු.

මෙයට
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපාලි පන්නිලගේ
සමාජ සමානාත්මතාව සඳහා වන විශ්වවිද්‍යාල ආචාර්යවරු

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top