1150 x 80 px

කැලණිය නව උපකුලපතිවරයාගේ පත්වීම සාධාරණයි!

පසුගිය 22 වෙනිදා 'කැලණිය නව උපකුලපතිවරයාට ආචාර්යවරුන්ගේ විරෝධය' අප විසින් පල කරන්නට යෙදුණු පුවත සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ආර්.එම්. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා විසින් අප වෙත පිලිතුරු ලිපියක් එවා තිබේ. පිලිතුරු දීමේ අයිතිය පිලිගන්නා අප එවා ඇති පිලිතුරු ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව පහතින් පලකරමු.

2017 පෙබරවාරි 22 දින ඔබගේ වෙබ් අඩවියේ කැලණිය නව උපකුලපතිවරයාට ආචාර්යවරුන්ගේ විරෝධය යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇති මාධ්‍ය සාකච්ඡාවෙහි සාවද්‍ය කරුණු අන්තර්ගත වන බැවින් ඒ සඳහා ප්‍රති උත්තර දීමට අපට ද අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. පළමුව ශ්‍රී ලංකාවේ විශ්වවද්‍යාලවල ස්වාධීනත්වය හා යහපාලනය සඳහා වූ ආචාර්යවරුන්ගේ එකමුතුව යනුවෙන් කිසිසු සංවිධානයක් නොමැති බව ප්‍රකාශ කරමු. මෙය එම මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මොහෙතේ අටවාගත් ව්‍යාජ සංවිධානයක් බව ප්‍රකාශ කරමු. විශ්වවිද්‍යාල පනත අනුව පාලක සභාව විසින් තෝරා දෙන නම් තුනක් ජනාධිපතිවරයාට යොමු කළ යුතු වන අතර ඒ නම් අතුරින් වඩාත් සුදුසුකම් ඇති අපේක්ෂකයාව උපකුලපති තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයාට පූර්ණ බලය ඇත. එසේම උපකුලපති පත් කර ගැනීමට පළ වූ පුවත් පත් නිවේදනයෙහි අයදුම්කරුවන්ට ඉහළ උසස් අධ්‍යාපන සුදුසුකම් සහ උසස් ශාස්ත්‍රීය පර්යේෂණ කුසලතා තිබිය යුතු යැයි සඳහන් කර ඇත. නමුත් වර්තමාන උපකුලපති මහාචාර්ය මද්දුමබණඩාර මහතාට ආචාර්ය උපාධියක් (Ph.D.) නොමැත. අඩු තරමින් දර්ශනපති උපාධියක්වත් (M.Phil.) නොමැත. ඔහුට ඇත්තේ B.A සහ M.A. උපාධිය පමණි. එනම් පුවත්පත් දැන්වීමට අනුව සුනන්ද මහතාට කිසිදු පර්යේෂණ උපාධියක් නොමැත. එසේම ඔහු තමාගේ විෂයක්‍ෂේත්‍රයෙන් සැලකිය යුතු පර්යේෂණ ද සිදු කර නොමැත.

එසේම උපකුලපතිවරයෙකු පත් කරනු ලබන්නේ වසර තුනක් සඳහාය. සුනන්ද මහතා විශ්‍රාම යෑමට තව ඉතිරිව ඇත්තේ වසර දෙකක් පමණි. එනම් නියමිත පූර්ණ ධුර කාලය සැපිරීමට මොහු අසමත් වී ඇත. මේ සියලු කරුණු සලකා බලා සුනන්ද මතාට වඩා වැඩි අධ්‍යාපනික හා ශාස්ත්‍රීය සුදුසුකම් ඇති අයදුම්කරුට ජනාධිපතිවරයා විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර ලබා දී ඇත. එලෙස කෙරුණු පත් කිරීමක් යහ පාලනයට විරුද්ධ වන්නේ කෙසේ ද යන්න අපට නොතේරේ.

විශ්වවිද්‍යාලයට සේවයක් කළා යැයි පවසන උපකුලපතිවරයාගේ සේවා කාලය අවසන් වූ විට ඔහුට සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබා දී නොමැති නම් ඔහු නියමිත කාලය අවසන් කර ධුයෙන් ගෞරවාන්විතව ඉවත් වී යා යුතුය. වෙනත් අයෙකු එම තනතුරට පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත්නම් ධුරය දැනට හොබවන තැනැත්තාටම එම ධුරය නැවත දියයුතුය යැයි ප්‍රකාශ කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් විශ්වවිද්‍යාල පනතෙහි සඳහන් කර නොමැත. එබැවින් මාධ්‍ය සාකච්ඡා පවත්වා එය ඔහුටම දියයුතු යැයි පැවසීමට මෙම ආචාර්යවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැත. මෙම කාරණය නිසා විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට බාධා ඇතිවන්නේ කෙලෙසදැයි අපට නොතේරේ. ව්‍යාජ සංවිධායක් අටවාගෙන මොවුන් මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ මෙතෙක් තමන් ලබාගත් විශේෂ වරප්‍රසාද සහ අයථා මූල්‍ය ප්‍රතිලාභ අහිමි වේ යන බිය නිසාය.

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපති පත්කිරීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් නිවැරදි තීරණයක් ගෙන ඇති හෙයින් එතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය හා ප්‍රණාමය මෙයින් පළ කරමු. එසේම මෙම පත්වීම මගින් එතුමා කැලණිය විශ්වවිද්‍යාලයට යහ පාලනය උදා කර ඇති බවද ප්‍රකාශ කරමු.

 

මෙයට
ආචාර්ය ආර්.එම්. ඩබ්ලිව්. රාජපක්ෂ
කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය නව උපකුලපතිවරයාට ආචාර්යවරුන්ගේ විරෝධය

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top