නාවික හමුදාපතිවරයාගේ සේවා දිගුවට මාධ්‍යවේදීන්ගේ විරෝධය

නාවික හමුදාපති රවීන්ද්‍ර විජය ගුණරත්න මහතාට ජනාධිපතිවරයා විසින් සේවා දිගුවක් ලබාදීම අප සංගමයේ බලවත් අවධානය යොමුව ඇත.

හම්බන්තොට වරාය සිදුවීමේ දී එය වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදියකුට නාවික හමුදාපතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම පහර දුන් අතර ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලිවලට අදාළව සිදුකරනවා යැයි කියූ පරීක්ෂණවල තත්ත්වය ද තවමත් අභිරහසකි.

 

එවන් හැසිරීමක් සහිත පුද්ගලයකුට ජනාධිපතිවරයා විසින් සේවා දිගුවක් ලබාදීම අප සංගමය දැඩි හෙළා දකින අතර ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් හා යහපාලනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඇති සැබෑ වුවමනාව මෙය දැයි අප ප‍්‍රශ්න කර සිටිමු.

පසුගිය කාලය පුරා ජනමාධ්‍යවේදීන් ඝාතනය වීම්, අතුරුදන් වීම් හා අනෙකුත් ආකායේ තර්ජන සම්බන්ධයෙන් ආණ්ඩුව ක‍්‍රියාකරන ආකාරයත් ඒ සම්බන්ධයෙන් රජය සිදුකරන පරීක්ෂණ හා ඊට අදාළව අපරාධ චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධව ගනිමින් සිටින තීරණ කෙරෙහි අප තුළ ඇත්තේ බලවත් ප‍්‍රශ්නාර්ථයකි.

සිවිල් නඩුවලට සම්බන්ධ යුද හමුදා සාමාජිකයන් පවා නැවත සේවයේ නොපිහිටුවන තත්ත්වයක් තුළ මෙරට මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් නැවත සේවයේ පිහිටුවීම සිදුවන්නේ කුමන පදනමකින්ද යන්න ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතුය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නට පෙර ජනමාධ්‍ය නිදහසත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවත් සහතික කරන බවට ලබාදුන් පොරොන්දුව වඩාත් අර්ථවත් වන්නට නම් ජනමාධ්‍යට එරෙහිව කළ සියලූ ආකාරයේ අපරාධයන්ට අදාළව විධිමත් පරීක්‍ෂණයක් කොට මාධ්‍යවේදීන්ට නිදහසේ වැඩකළ හැකි පරිසරයක් ඇති කළයුතු බව අප සංගමයේ අදහසයි.

මාධ්‍යයට එරෙහිව එල්ල කරන ලද විවිධ ආකාරයේ අපරාධ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් අප සංගමය කිහිප වතාවක් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම මෙතෙක් කිසිඳු ප‍්‍රතිචාරයක් ලැබී නොමැත. එවැනි ඉල්ලීමක් අප සංගමය ඉදිරිපත් කරනු ලැබුවේ ජනමාධ්‍යයට හිතකර තත්ත්වයක් රට තුළ නිර්මාණය කර ගැනීම සඳහාය.

- ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top