1150 x 80 px

බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තු මත පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට උත්සාහයක්

2016 වසරේ බස්නාහිර පළාතේ තෝරාගත් ජනප්‍රිය පාසල් 21 ක පළමු ශ්‍රේණිය පන්තියක් වැඩිකර සිසුන් ඇතුළත් කිරීමට බස්නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීවරු අත්තනෝමතිකව කටයුතු කළේය.

 

ඒ අනුව වෙනත් පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි ළමුන් මාස 8 කට පසු මෙම පාසල්වලට ඇතුළත් කර ගැනුණි. එම ක්‍රියාවලියට එරෙහිව ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට කළ පැමිණිල්ලකට අනුව ආණ්ඩුකාරවරයා විසින් ඒ සම්බන්ධයෙන් එවකට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවන ලද අතර, 2016.08.01 දිනැති එම වාර්තාවේ අදාළ පාසල් 21 හි 1 ශ්‍රේණියේ පන්ති ඇති කිරීම නුසුදුසු බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් කරුණු සහිතව දක්වා තිබුණි. එසේම ඒ වන විට පළමු වන ශ්‍රේණිය සඳහා පාසල් නොමැති ළමුන් කිසිවෙක් බස්නාහිර පළාතේ නොමැති බව ද අදාළ වාර්තාවේ සඳහන් විය. එසේ තිබියදී අත්තනෝමතිකව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමතිවරයාගේ නියෝගය පරිදි සමාන්තර පන්ති වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන 3 ක් විගණකාධිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් පවත්වමින් තිබේ.

එසේ තිබියදී 2017 වසර සඳහා ද පළාතේ තෝරාගත් ජනප්‍රිය පාසල් සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තු පදනම් කර ගනිමින් පොරොත්තු ලේඛනද පසෙක දමා 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට මේ වනවිට කටයුතු සිදුවෙමින් තිබේ. මෙසේ දේශපාලන උවමනාවන් මත 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමෙන් සිදුවන්නේ පොරොත්තු ලේඛනවල සිටින දරුවන් බරපතල අසාධාරණයකට ලක්වීමත්, අවට ජනප්‍රිය නොවන කුඩා පාසල් වැසීයාමත්ය.

මෙම ක්‍රියාවලිය දරුවන්ගේ සමබර අධ්‍යාපනයට බරපතල ගැටළුවක් වන අතර, සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයකට යැවීමක් සිදුවේ. පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ මෙම දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය දේශපාලනඥයන්ගේ ලැයිස්තු අනුව පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම වහාම නතර කරන ලෙස බලකර සිටී. එසේ නොවන්නේ නම් ඒ සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ද කටයුතු කරන බව අවධාරණය කර සිටිමු.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top