1150 x 80 px

මීතොටමුල්ල ඛේදවාචකයට රජය වගකිව යුතුයි -ලංකා ගුරු සංගමය

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අහිමි වීම හා දේපළ විනාශ වීම සම්බන්ධයෙන් රජය ඍජුවම වගකිව යුතු බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.

මෙම කුණු කන්දේ කොටසක් කඩා වැටී 2013 ජනවාරි 02 දින සිට මීතොටමුල්ල රාහුල විදුහල වසා දැමූ අතර, ප‍්‍රදේශයේ ජනතාව දිගින් දිගටම මෙම කුණු කන්ද ඉවත් කරන ලෙස බලධරීන්ගෙන් ඉල්ලා සිටියහ. එසේ තිබියදී පාසල වසා දැමූ බලධාරීන් කුණු කන්ද ඉවත් කිරීමට කිසිදු පියවරක් නොගත් අතර, වර්තමාන රජය ද එම කි‍්‍රයාපිළිවෙතම ඉදිරියට ගෙන යාමෙන් මෙම අපරාධය සිදු විය.

මීටතොටමුල්ල රාහුල විදුහල වසා දැමූ අවස්ථාවේ ඊට විරෝධය පළ කළ ලංකා ගුරු සංගමය මෙම කුණු කන්ද ඉවත් කර රාහුල විදුහල නැවත විවෘත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියද ඒ සමබන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගත් අතර, අනතුර ඉවත් නොකරම පාසල නැවත විවෘත කරන ලදී. වර්තමාන රජය බලයට පත්වී වසර දෙකකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතද ඔවුන් ද මෙම කුණු කන්ද ඉවත් කිරීමට කටයුතු නොකිරීමෙන් මෙම ඛේදවාචකය සිදු විය.

දැනට සොයාගෙන ඇති සිරුරු අතර දරුවන් පස්දෙනෙකුගේ සිරුරු පවතින බව වාර්තා වන අතර අතුරුදහන් වූවන්ගේ ප‍්‍රමාණය මේ දක්වා ගණනය කර නැත. මේ තත්වය තුළ මෙම අපරාධයට රජය ඍජුවම වගකිව යුතු අතර, වහාම මෙම කුණු කන්ද ඉවත්කර ප‍්‍රදේශයේ මහජනතාවගේ ජීවිත, දේපළ මෙන්ම සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top