1150 x 80 px

පාසල් වැසීමේ ක්‍රියාදාමය දිගටම - ලංකා ගුරු සංගමය

පිළියන්දල අධ්‍යාපන කලාපයට අයත් බප/පිළි/කොරවැල්ල තිලක විදුහල,  බප/පිළි/සද්ධර්මෝදය විදුහල, බප/පිළි/පාමංකඩ සංඝමිත්තා විදුහල යන පාසල් මේ වන විට වසා දමා ඇත.

මෙම පාසල්වල අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවට මෙම පාසල්වල සිසුන් විවිධ ව්‍යාපෘති මත ක‍්‍රමයෙන් වෙනත් පාසල්වලට යොමුකරමින් මෙම පාසල් පිරිහී යන තත්වයකට පත් කිරීම සිදු කොට ඇත. පසුව ඉතිරි වූ සිසුන් ද වෙනත් පාසල්වලට යොමු කොට 2017 වසරේ පළමු කාර්තුව අවසන් වනවිටම මෙම පාසල් වසා දමා ඇත. මේ නිසා මෙම පාසල්වල ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් බොහෝ දෙනෙක් මේ වනවිට පාසල් නොයන තත්වයක් උදා වී ඇත.

තිලක විදුහල හා  සද්ධර්මෝදය විදුහල මොරටුව කොරළවැල්ල ප‍්‍රදේශයේ වෙරළබඩ පරිසරයක පවතින පාසල් දෙකකි. මෙම පාසල් වෙරළබඩ පරිසරයේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ සම්පතකි. එම දරුවන් තම පරිසරයේ පවතින පාසල්වලට හැර වෙනත් පාසල්වලට යාමට මැළිකමක් දක්වන හෙයින් මෙම පාසල් වසා දැමීම නිසා එම පාසල්වල දරුවන් මේ වනවිට පාසල් ගමන අත්හැර දමා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය ‘ළඟම පාසල හොඳම පාසල’ වැනි විවිධ තේමා ප‍්‍රකාශ කරමින් අධ්‍යාපන සංවර්ධනයක් මවාපාමින් සිටියදී මෙවැනි තත්වයක් උද්ගත වී ඇත. පසුගිය රජය යටතේ ද ‘පාසල් දහස’ ව්‍යාපෘතිය නමින් දිගින් දිගටම පාසල් වසා දැමීම සිදු කළ අතර, වත්මන් රජය යටතේ ද පාසල් වසාදැමීමේ ක්‍රියාපිළිවෙත සිදුවෙමින් පවතී.

මෙසේ පාසල් වසා දැමීමට දැඩි විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය ඉහත පාසල් 3 පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් වසා දැමීම පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් හා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top