1150 x 80 px

 

ගොඩනැගිල්ල අබලන් වීම නිසා මහගල්වැව විද්‍යාලයේ දරුවෝ අසරණ වෙති

සූරියවැව මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ඉගෙනුම ලබන පාසල් ගොඩනැගිල්ලක් අබලන්වී ඇති බැවින් දරුවන් අවදානමක සිට අධ්‍යාපනය ලබන බව පවසමින් එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් ඊයේ (03) හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගෙන් යම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

මෙහිදී නිසියාකාර විසදුමක් ලබා නොදීම නිසා අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දෙමා පියන් පිරිසක් නොසන්සුන් කාරී ලෙස හැසුරුණු අතර ඔවුන් පවසා සිටියේ තම දරුවන්ගේ අයිතිය වෙනුවෙන් තමන් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි.

මහගල්වැව කනිෂ්ඨ විද්‍යාලේ මෙම අබලන් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වසර ගණනාවක සිට බලධාරීන් දැනුවත් කලත් දරුවන්හට අවශ්‍ය පාසල් ගොඩනැගිල්ලක් සදා දීමට බලධාරීන් කටයුතු නොකළ බවයි දරුවන්ගේ දෙමා පියන් කියා සිටියේ .

මේ අතර පසුගිය 02 දින පාසලට ගොඩනැගිල්ලක් සදා දෙන ලෙස ඉල්ලමින් මහගල්වැව මාර්ගයද හරස් කරමින් දෙමාපියන් විසින් විරෝධතාවයක්ද පැවැත්වූ අතර ඊටට නිසි විසඳුමක් නොලැබිණි.

තම දරුවන් මුහුණ දී ඇති ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පි .පි සදමාලි මහත්මිය '' අපේ දරුවන් අද ඉගෙන ගන්න තැනක් නැතිව ගස් යට තමයි ඉගෙන ගන්නේ. මගේ දරුවා පළමු වසරට බාර දෙන්න අද (03) තමයි මුලින්ම එක්කගෙන ආවේ. ගුරුවරු කිවුවේ ඉන්න තැනක් නැති නිසා ළමයා නැවත එක්කගෙන යන්න කියල. අද ආපු හැම දරුවෙකුටම ඒ දේම තමයි උනේ. අපි 02 දා උද්ඝෝෂණය කල කිසිම නිලධාරියෙක් ඒ ගැන හොයන්න ආවේ නෑ. දරුවන්ට කිසිම පහසුකමක් නැති විද්‍යාලයක අපි ඉල්ලුවේ දරුවන්ට ඉගෙන ගන්න ගොඩනැගිල්ලක් විතරයි. ඒකවත් දෙන්න කිසිම බලධාරියෙක් මේ වන විට මැදිහත් වෙලා නෑ ''

ඉරේෂා උදයමාලි '' මේ පාසලේ දරුවන්ට හරියට වැසිකිලියක් නැ ගොඩනැගිල්ලක් නෑ ගුරුවරුන්ට ගුරු නිවාස නෑ විද්‍යාගාර නෑ ,කිසිම පහසුකමක් නෑ තියෙන ගොඩනැගිලි අපේ අම්මලත් ඉගෙන ගත්තු පැරණි ගොඩනැගිලි. ඒවා දැන් අබලන්. ඒ ගොඩ නැගිලි දෙක හැරුනම කවදාවත් මේ පාසලේ ගොඩනැගිල්ලක් හදල දීලා නෑ අපේ දරුවන් වෙන පාසලකට ගන්නෙත් නෑ. '

ඒ අනුව ළමයින් 200ක් පමණ අධ්‍යාපනය ලබන සූරියවැව මහගල්වැව විද්‍යාලයේ ඇති ගැටළුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top