Untitled 1

වැව් හදන මුවාවෙන් පස් කැපීමෙන් සිදුවන මහා පරිසර සංහාරය

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලියන්ගස්තොට ග්‍රාමනිලධාරී වසමේ කරබගලමුල්ල ප්‍රදේශයේ ඇති ඔරුවලන්ද වැව හා එම ප්‍රදේශයේම වැව් හාරන මුවාවෙන් තවත් ස්ථාන දෙකක පස් කැනීමේ ජාවාරමක් තිබෙන බවට ප්‍රදේශයේ ගොවි සංවිධාන හා ප්‍රදේශවාසින් චෝදනා කරති .

කරබගල මුල්ල ප්‍රදේශයේ ඇති ඔරුවලන්ද වැව 1965 දී නිර්මාණය කොට ඇති අතර ඒ තුලින් ප්‍රදේශයේ ඇති කුබුරු අක්කර 18 ක් හා ඒ අවට හෙන්ගොවිතැන් කරන ගොවින් කීපදෙනෙකු සහ වන සතුන් උදෙසා වැව ප්‍රයෝජනවත් විය

කෙසේනමුත් පසුගිය කාලය තුල රජය මගින් සිදුකල වැව් හාරා ඒවායේ ඇති රොන්මඩ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ඔරුව ලන්ද වැව ද ඇතුලත් විය .ඒ අනුව 2016 .06.10 දින රජයේ කොන්දේසි වලට යටත්ව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් වරයාගේ හා තාක්ෂණික නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ වැව හාරා රොන්මඩ ඉවත් කර සංවර්ධනය කිරීම සදහා ඔරුවලන්ද ගොවිසන්විධාන්යට අනුමැතිය හිමිවේ .

ඔරුව ලන්ද ගොවිසන්විධානය විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාවෙත ඉදිරිපත් කරනලද ඉල්ලීම මත පසුව මෙම වැව මේ ආකාරයෙන් සංවර්ධනය කිරීමට අදාල නිලධාරින් කටයුතු කර තිබේ. ඒ සදහා රුපියල් හැටලක්ෂ අනුහයදාස් පන්සීය හැත්තෑ දෙකක (6096572.00)මුදලක් ද වැව සංවර්ධනය සදහා රජයෙන් ලැබී ඇත.

ඒ අනුව වැවේ පස් ඉවත් කිරීමේදී වැව පතුලේ ජලය රදා පවතින මට්ටමට බාධා නොවන පරිදි සහ ඉන් වගා කරන ගොවි බිම් සදහා බාධා නොවන අයුරින් අදාල පස් ඉවත් කිරීම සිදු කල යුතු බවත් ගණ මීටර් 14,123.33 ක් පමණක් වැවෙන් පස් ඉවත් කිරීම සිදුකල යුතු බව ද දන්වා තිබේ .

මේ ආකාරයෙන් ඔරුවලන්ද වැවේ රෝම මඩ ඉවත්කිරීම ලිපි අංක DSH / DPS / 06/05/IR මගින් 2016.06.10 ලිපියට අනුව ලැබුණු අනුමැතිය පරිදි එහි වැඩ ආරම්භ වූ අතර එහිදී 2016.සැප්තැම්බර් මාසයේ නියම කරන ලද දින කීපයක් තුලදී පස් කියුබ් 450ක් ඉවත් කිරීමට පමණක් අනුමැතිය හිමි වී තුබුණි .

නමුත් මෙම අවස්ථාවේ පවා පස් ඉවත් කිරීමේදී කොන්දේසි 12 ක් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අත්සනින් යුතු DSAM /EST /2/F /T ලිපිය මගින් ඔරුව ලන්ද ගොවි සංවිධානයට පනවා තිබුණි .

මේ ආකාරයෙන් රුපියල් හැටලක්ෂ අනුහයදාස් පන්සීය හැත්තෑ දෙකක (6096572.00)මුදලක් වැය කරමින් රොන්මඩ ඉවත් කරන ලද වැවෙහි වැඩ අවසන් වී සති කීපයක් ගිය තැන අදාල ගොවි සංවිධානයේ නිලධාරි මඩුල්ල සංශෝධනය විය. මෙහිදී සිදුවන්නේ අපුරු දෙයකි. අලුතෙන් පත්වූ නිලධාරීන් නැවත වැව ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා හට 2016.08.05දින ලිපියකින් ඉල්ලීම් සිදුකරනු ලබයි. එම ඉල්ලීමට අනුව වැව පුළුල් කිරීම සදහා අදාල රාජ්‍ය ආයතන වෙත ලැබුණු නියෝග මත වැව පුළුල් කිරීමේ කටයුතු මීට මාස කීපයක සිට නැවත ආරම්භ කරනු ලබයි. පුළුල් කිරීමට තෝරාගත් ප්‍රදේශය උස් භුමි ප්‍රදේශයක් වන අතර එම ප්‍රදේශය පුළුල් කිරීමෙන් අදාල පස් කැනීම් සිදු කරන පුද්ගලයා හට විශාල පස් ප්‍රමාණයක් ලබා ගෙන විකිණීමේ හැකියාව පවතී .

කෙසේනමුත් මේ ආකාරයෙන් පස් ඉවත් කිරිමේ දී පවා කොන්දේසි උල්ලංඝනය කරන බවට ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් හම්බන්තොටට දිස්ත්‍රික් ලේකම් වරයා වෙත පැමිණිලි ලැබීමෙන් පසුව දුරකථන ඇමතුමක් මගින් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා වැවේ පස් කැනීම් සියල්ලම නතර කරන ලෙස දිස්ත්‍රික් ලේකම් වරයා දැනුම් දෙයි .(2016.10.24)

මේ තුලින් ලබා ගන්නා සියලු පස් දක්ෂිණ අදිවේගී මාර්ගයේ කටයුතු සදහා අලෙවි කරනු ලබයි.

නමුත් නැවත සංවර්ධනය කිරීමට ආරම්භ වූ ඔරුවලන්ද වැව තුලින් අස්වද්දන මුළු කුඹුරු ප්‍රමාණය අක්කර 18 කි. එයද මහා කන්නයට පමණක් සිමා වී තිබුණි. අහස දියෙන් පමණක්ක වැවට ජලය ලැබුණු අතර කිසිදු වාරි ඇලමාර්ගයකින් ඒ සදහා ජලය නොලැබුණි .ඒ වනවිට වැවේ ප්‍රමාණය අක්කර පහක් පමණ වූ අතර මේ වන විට එය අක්කර 15 කට අදික ප්‍රමාණයක් දක්වා පුලුක් කරමින් පවතී .

මේ තුලින් පෙනීයන්නේ වැවේ ජලයෙන් සංවර්ධනය වන ප්‍රදේශය ඉතා කුඩා බවයි නමුත් එම සංවර්ධනය වන ප්‍රදේශයට වඩා වැව පුළුල් කිරීම සිදුවේ .අහස්දියෙන් පමණක් කලින් පිරුණු වැව සදහා අවශ්‍ය වූ කුඩා ජලප්‍රමනයට වඩා විශාල ජාල ප්‍රමාණයක් මේ වනවිට වැවට අවශ්‍ය වේ ඒ තුලින් වැවෙන් පෝෂණය වූ කුබුරු අක්කර 18 ද අනතුරට ලක්වීම වන්නේ මෙවැනි විශාල වැවක් තුල තිබෙන අඩු වතුර ප්‍රමාණය කුබුරු සදහා ලබා ගැනීමට අපහසු තාවය නිසා වෙනි. එමෙන්ම වැවේ ජලයද ඉක්මනින් සිදීයාමට ලක්වීමට හැකි බවයි ගොවින් පෙන්වා දෙන්නේ .


මේ ආකාරයෙන් හම්බන්තොට මුළු මහත් පරිසරයම විනාශ කරමින් සංවර්ධනයේ මුවාවෙන් ජාවාරම් සිදුවෙද්දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගකිවයුතු බොහොමයක් නිලධාරින් ජාවාරම් කරුවන් හා එක්වී තම සාක්කු මුදලින් පුරවා ගනිමින් එම අවිදිමත් නීති විරෝධී ක්‍රියාවන් සදහා නිත්‍යානුකුල අවසර ලබා දෙමින් ඔවුන් වෙනුවෙන් ප්‍රශස්ති ගායනා කරනු ලබයි .

කෙසේනමුත් මේ අතර වැව සංවර්ධනය කිරීමේ දෙවන අධියරක් ලෙස ක්‍රියාත්මක වෙමින් මිට මාස කීපයක සිට නැවත වැවේ පස් ඉවත් කරනමින් වැව විශාල කිරීම හා එම පස් අධිවේගී මාර්ගයේ කටයුතු සදහා විකිණීමේ ක්‍රියාවලියක් මේ වන විට සිදුකරමින් පවතී

රජයේ නිලධාරිගේද ආශිර්වාදය මත සිදුවන මෙම ක්‍රියාවලිය පස් කැනීමේ ජාවාරමක් බවට ප්‍රදේශයේ පත් වී තිබේ .

එමෙන්ම මෙයට යාබද තවත් ස්ථාන දෙකක ද මේ ආකාරයෙන් වැව් තනන මුවාවෙන් පස් කැනීමේ ජාවාරම් වල පුද්ගලයින් කීපදෙනෙකු නිරතවී සිටින බව ප්‍රදේශ වාසින් චෝදනා කරයි .

කෙසෙන් මුත් නීති විරෝධිව බලපත්‍ර කොන්දේසි පවා උල්ලංඝනය කරමින් හා පලපත්‍ර නොමැතිව සිදුකරන මෙම වන සංහාරය හා පරිසර විනාශය ඉක්මනින්ම නතර කරදෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top