1150 x 80 px

හගුරන්කෙත රම්මලකදුර ජල ව්‍යාපෘතිය අඩාල වී ජනතාව පීඩාවට

පානීය ජල පහසුකම් නොමැති හගුරන්කෙත රම්මලකදුර ජනතාවට ජල පහසුකම් ලබාදීම සදහා විදෙස් ආධාර මත ඉදිකළ ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අඩාලවීම නිසා ප්‍රදේශවාසී ජනතාව මහත් අසීරුතාවට පත්ව සිටියි.

 

විදේශීය බැංකු ආධාරයක් මත රම්මලදියකදුර ප්‍රජා ජල මූල සංවිධානයේ මැදිහත්වීම මත රුපියල් මිලියන දහයකට අධික මුදලක් වැය කොට මෙම ජල ව්‍යාපෘතිය ඉදිකළ බව ප්‍රදේශවාසීන් පවසයි. මේ සදහා තමන් මුදලින් මෙන්ම ශ්‍රමයෙන් දායකත්වයක් ලබාදුන් බවත් ඇතැම් පිරිස් දින පනහක පමණ දායකත්වය ලබාදුන් බව ඔවුන් කීහ.

මුදල් එක් රැස් කිරිමේදී රුපියල් 19 000 බැගින් පවුල් එකසිය හතළිහක් පමණ මුදල් මෙම ව්‍යාපෘතියට ලබා දුන් බව ප්‍රජා මූල සංගමයේ සාමාජිකයන් වූ ප්‍රදේශවාසීන් පැවසීය.
මන්දාරම්නුවර දෙස සිට ලැමසූරිය හරහා ගලා බසින බෙලිහුල්ඔයෙන් පොම්ප කරන ජලය මඩවලතැන්න ග්‍රාමයේ ඉදිකළ ටැංකියට රැස් කර පවුල් දෙසියපනහකට බෙදාදීමට මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබුණි. ඒ සදහා සියලු නළ එළිම් ද සිදුකොට ඇත.
කිලෝමීටර් දෙකක පමණ දුරක් ජලය පොම්ප කිරීම සදහා පොම්පාගාරයට වෙනම විදුලි බල සැපයීම ලබාදී ඇති අතර ඒ සදහා ද තමන් මුදලින් දායකවූ බව කී ප්‍රදේශවාසීන් මේ වන විට එහි බල සැපයුම අත්හිටුවීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇතැයි කීවේය.
වර්ෂ 2008 හා 2009 යන කාලවලදී ඉදිකළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග ජලය සම්පාදනය කර ඇත්තේ සති තුනක කාලයක් පමණි. මෙම ව්‍යාපෘතිය නඩත්තු කිරීමට ප්‍රජා මූල සංවිධානයට හැකියාවක් ලැබී නොමැති අතර ගමෙන් තරමක් දුරස්ව පිහිටි පොම්පාගාරය ක්‍රියාත්මක කරවීම සදහා නිලධාරියෙකු නොයෙදවීම විශාල ගැටලුවක් වූ බව ඔවුන් කීහ. මේ නිසා විදුලි මෝටර් නිරන්තරයෙන් ක්‍රියාත්මකවී සංගමයට දරා ගත නොහැකි විදුලි බිල් පැමිණි බව ගම්වැසියන් ප්‍රකාශ කළෝය.
විදුලි බිල්පත් ගෙවීම සදහා ජනතාව ගෙවන ජල බිල් ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ නිසත් විශාල මුදලක් වැය කොට ඉදිකළ ව්‍යාපෘතිය නිසි ලෙස නඩත්තු නොවූ නිසත් මාසයක් වැනි කාලයකදී ජල ව්‍යාපෘතිය අඩාල වූ බව ඔවුන් කියයි.
බෙලිහුල් ඔය හරස් කර තමන්ට වඩා පහසුවෙන් ජලය ලබා දිය හැකි වුවත් මේ සදහා රජයේ නිසි අවධානය යොමු නොවීම නිසා රම්මලකදුර, මඩවලතැන්න, රත්මැටිය, බෝගහඇල්ල ඇතුලු ගම්මාන රැසක් ජනතාව අද ද ප්‍රමාණවත් පානීය ජල පහසුකම් නොමැතිව දැඩිදුෂ්කරතාවට පත්ව සිටියි.
නදීක දයා බණ්ඩාර - මහනුවර

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top