1150 x 80 px

පාරක් නොමැතිව පීඩා විදින ලැවසූරිය වෙල් යායේ ගොවීන්

වෙල්යායේ සිට මහා මාර්ගය දක්වා  මාර්ග පහසුකම් නොමැතිවීමෙන් හගුරන්කෙත ලැවසූරිය වෙල් යායේ ගොවියන්ට කිලෝමීටර් හයක පමණ දුරක් තවලම් මගින් වී ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ.

අක්කර පන්සියයකට ආසන්න භූමි වපසරියක මෙහි වී වගාව සිදුකරන අතර ඇල වේලි මතින් හෝ වෙනත් ක්‍රමයක් මගින් කුඹුරු ආසන්නයට වාහනයක්  ප්‍රවේශ කිරීමට  මාර්ග පහසුකම් මෙම වෙල් යායට නොමැත.මේ නිසා නෙළා ගන්නා ලද සිය වී අස්වනු කුඹුරේ සිට මහා මාර්ගය දක්වා තවලම් පිට රැගෙන යාමට සිදුව ඇති බවත් තමන් මෙම කාර්යය වසර 70ක පමණ කාලයක සිට සිදුකරන බව ගොවියන් සදහන් කරයි.
නුවරඑළිය දිස්ත්‍රිකයේ පිහිටි මෙම ග්‍රාමයට ලැවසූරිය යන නාමය පටබැදී ඇත්තේ එවකට ලංකා සිවිල් සේවයේ උප ඒජන්තවරයෙකු ලෙස සේවය කළ ජේ.ආර්.මසූරියර් මහතාගේ නම සිහිවීම පිණිස යැයි ගම්මූන් පවසති. ඔහු විසින් මෙම වෙල් යාය නිර්මාණය කිරීමට සෘජු දායකත්වය දක්වා ඇති අතර ඒ අනුව අමුණක් බැද අක්කර 460ක වෙල් යායක් ඉදි කර දී තිබේ.

නමුත් එවකට කීර්තිබණ්ඩාරපුර හා ලැවසූරිය ප්‍රදේශයේ සීඝ්‍රයෙන් පැතිර ගිය මැලේරියා වසංගතය හේතුවෙන් ගම්මාසීන් ප්‍රදේශය අතර හැර ගොස් ඇති අතර වගා කිරීමට ගොවියන් නොමැති නිසා පසුකාලීනව එම වෙල් යායේ කුඹුරු වෙනත් පිරිස් වෙත ලබාදීමට උප ඒජන්ත ජේ.ආර්.මසූරියර් මහතා ක්‍රියාකර තිබේ.


මුල් අවස්ථාවේදී ලැවසූරිය හා ඒ අවට පදිංචිකරුවන් සදහා කුඹූරු හිමිව තිබුණත් ඔවුන් ප්‍රදේශය අතහැර ගොස් සිටි බැවින් පසුකාලීනව උඩවත්ත, මොරගොල්ල, ඉල්ලගොල්ල, උඩගලඋඩ, වලපනේ, මුංවත්ත ඇතුලු ගම්මාන රැසක් පදංචිකරුවන්ට මෙම වෙල්යායේ කුඹුරු ලබාදීමට බලධාරීන්ට සිදුව තිබේ.
රජයේ අනුග්‍රහය මත ජේ.ආර්.මසූරියර් මහතා විසින් ඇල වේළි සකස් කර දී තිබේ. සියලු කුඹුරු අස්වැද්දිය හැකි ලෙස ජල සම්පාදන ක්‍රමයක් ද නිර්මාණය කර ඇති අතර එදා සිට මේ දක්වා සියලු කුඹුරු ඇස්වැද්දීමට ගොවියන් කටයුතු කරයි.


අතීතයේදී ප්‍රවාහන පහසුකම් පුළුල් වී නොමැති නිසා මෙම වෙල්යායේ සිට වී අස්වනු ප්‍රවාහනය කිරීම ගොන් වස්සන්ගේ මාර්ගයෙන් තවලම් බැද සිදුකර තිබේ. නමුත් මේ වන විට තාක්ෂණය දියුණුවී ප්‍රවාහන පහසුකම් පුළුල් වී තිබුණත් සිය වෙල් යාය අසලට මාර්ග පහසුකම් නොමැති වීම නිසා අවම අවශයෙන් කිලෝමීටර් තුනකවත් දුර තවලම් මගින් වී ප්‍රවාහනය කිරීමට සිදුවන බව ගොවියන් මැසිවිලි නගති. වෙල් යායේ සිට මහා මාර්ගය දක්වා කිලෝමීටර් තුනක් පමණ දුර තවලම් මගින් වී රැගෙන යාමට සිදුවන අතර මහා මාර්ගයේ සිට ප්‍රවාහන ක්‍රමයක් සකස් කර ගත නොහැකි නම් දියතලාව කදු වැටිය ආසන්නයෙන් වන ගත මාර්ගයකින් කිලෝමීටර් අටක පමණ දුර ගෙවා උඩ - ගල - උඩ ගම්මානයට යා යුතුව ඇතැයි ගොවියෙකු වන එම්.ආර්.එම්.කිරිබණ්ඩා (70) මහතා පැවසීය.


මම මේ වෙල් යායේ කුඹුරු කරන්න ආවේ අවුරුදු දොළහේදී. එදා සිට මේ දක්වා වගා කරනවා. අපි වී ප්‍රවාහනය කරන්නේ ගොන් වස්සන්ගෙන්. ඉස්සර ගොන් වස්සන් 500ක් පමණ තවලමේ ආවා. නමුත් දැන් ඉන්නේ 70ක් පමණ. ගොන් වස්සන් නඩත්තු කිරීම මේ වන විට අසීරුයි. අතීතයේදී එම ගවයන්ට වැඩ තිබුණා. නමුත් දැන් වැඩ තිබෙන්නේ මෙම වෙල් යායේ දෙකන්නයේදී පමණයි. ඒ නිසා දැන් ගව සම්පත අහිමි වෙමින් යනවා. මේ අයුරින් පැවතිය හොත් අපට අපේ කර මතින් තමයි ගොඩට වී රැගෙන යන්න වෙන්නේ.
ලැමසූරිය වෙල් යායේ සේවය කරමින් සිටි ආර්.එම්.ජී.ජී.රණසිංහ බණ්ඩා (60) ගොවි මහතා මෙසේ ප්‍රකාශ කළේය.
මගේ පියාගේ කාලයේ සිට මම මේ වෙල් යායේ කුඹුරු කරන්න එනවා. ඉතා දුක් මහන්සියෙන් තමයි මෙහි ගොවිතැන් කරන්න වෙන්නේ. ප්‍රවාහන පහසුකම් නැහැ. කර මතින් තමයි සියලුම දේ කුඹුරට රැගෙන එන්නේ. නමුත් අද වියදම් වැඩි නිසා ගොවිතැන ලාභ දායි දෙයක් නොවෙයි. වී පෑලක් වැඩ කරනවිට අද රුපියල් තිස්දහසකට වඩා වැඩි වියදමක් යනවා. අපි වැඩමුර තුනක් කළ යුතුයි.  වී පෑලකට පහළොස් දෙනෙකු වැඩ කිරීමට එක් වෙනවා. මී ගොන් බානකට රුපියල් හාරදහසක් දිය යුතුයි. අද තාක්ෂණය දියුණුවී තිබුණත් කුඹුරට එවැනි තාක්ෂණයක් රැගෙන ඒමට නොහැකි නිසා විශාල මුදලක් ගොවියන්ට අතින් වැය කිරීමට සිදුව තිබෙනවා. ඇල වේල්ල මතින් මාර්ගයක් ඉදි කර දෙන්න කියා අප ඉල්ලා සිටියත් එය සාර්ථක වී නැහැ.
පිටියේ ගෙදර අබේරත්න (56) ගොවි මහතා මෙසේ සදහන් කළේය.
මගේ අප්පච්චිගේත් අප්පච්චි මෙම වෙල් යායේ කුඹුරු කළා. මෙහි සිට අපේ ගම වන උඩගලඋඩට කිලෝමීටර් අටක දුරක් කැලෑ මාර්ගයෙන් යා යුතුයි. තවලම් පිට වී රැගෙන යාමේදී ප්‍රධාන මාර්ගයට රැගෙන යන්නේ නම් දහයට එකක් ද ගමට යන්නේ නම් හයට එකක් ද වශයෙන් තවලම් හිමිකරුට වී ලබා දිය යුතුයි. ප්‍රධාන මාර්ගයේ සිට වාහනයකින් ගමන් කරනවා නම් කිලෝමීටර් විස්සක පමණ දුරක් යා යුතුයි. එවිට අපට වී බුසලකට රුපියල් එක්දහස් පන්සියයක මුදලක් ගෙවිය යුතු වෙනවා. කුමන ක්‍රමය කළත් ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අපට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා යැයි පිටියේගෙදර අබේරත්න ගොවි මහතා ප්‍රකාශ කළේය.
මඩවලතැන්න හි පදිංචි ගොවි මහතෙකු වන ආර්.එම්.ජී.ජී.අබේසිංහ බණ්ඩා (48) මහතා මෙසේ පැවසීය.
අද මේ වෙලට පැමිණීමට නිසි මාර්ගයක් නැති නිසා වගාවේදී අධික වියදමක් දැරීමට සිදුව තිබෙනවා. මේ නිසා අද කුඹුරු හිමිකාර ගොවියන් අද ක්‍රමයට වගා කිරීමට කුඹුරු පිටස්තර අයට ලබාදී තිබෙනවා. අස්වැන්නෙන් අඩක් ඉඩම් හිමියාට ලබා දුන්නත් වගා කළ ගොවියන්ට ලාභයක් හිමි වන්නේ නැහැ. මේ වෙල් යාය මැදින් සිංහළ රජ සමයේ භාවිත වූ බදුලු පාර නමින් මාර්ගයක් තිබුණා. එය භාවිත නොවීම නිසා අද අඩි පාරක් බවට පත්ව තිබෙනවා. මෙවැනි මාර්ග හෝ තරමක් දුරට සකස් කර දෙනවා නම් ගොවියන්ට එය විශාල සහනයක් යැයි අබේසිංහ බණ්ඩා මහතා පැවසීය.

 

    නදීක දයා බණ්ඩාර - මහනුවර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top