1150 x 80 px

පොලිසියේ P.C.ගෙන් උසාවියේ P.C.ට නීතිය පිළිබඳ පාඩමක් !
අද (16) රහස් පොලිසියේ කැඳවීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, ඔහුගේ නීතිඥයා වන ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහද (P.C.) කැටුව ගොස් තිබිණි. රහස් පොලිසිය වෙත යන අයෙකුට එසේ නීතිඥවරයෙකු රැගෙන යාමේ අයිතියක් තිබේ. එයට පොලිසියට බාධා කළ නොහැක.
 
යෝෂිත රාජපක්ෂගේ ප්‍රකාශය සටහන් කරගැනීම බාරව සිට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකුටය. (P.C.) අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා උගත් ඔහු නීතිය පිළිබඳ උගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් පමණි.
 
ප්‍රශ්න කිරීම් අතරතුරදී යෝෂිත සමග පැමිණි උගත් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කිරීම්වලට දිගින් දිගටම බාධා කර තිබේ. ඒ අවස්ථාවේදී ප්‍රශ්න කිරීම් කරන ලද පොලිස් කොස්තාපල්වරයා, ගරු ජනාධිපති නීතිඥතුමාගෙන් ඉල්ලා ඇත්තේ එසේ නොකරන ලෙසය. එහිදී තමන්ට නීතිය පිළිබඳව ඇති අතිවිශාල දැනුම් සම්භාරය පොලිස් කොස්තාපල් කෙනෙකුට ප්‍රදර්ශනය කරනු සඳහා ජනාධිපති නීතිඥවරයා ඉන්දියානු නඩු තීන්දුවක් ගෙනහැර දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ 'විමර්ශන අවදියේ සිට සැකකරුවන්ගේ නීතිඥයන්ට එසේ කිරීමට බලය ඇති' බවයි.
ඊට පිළිතුරු දී ඇති පොලිස් කොස්තාපල්වරයා තම සාමාන්‍ය දැනුමෙන් පවසා ඇත්තේ 'සර්, මම දන්න විදියට ඔය නඩු තීන්දුවේ අඩංගු කරුණු අපේ රටේ පාර්ලිමේන්තුව හරහා පළමුවෙන්ම පනතකින් සම්මත කරගන්න ඕන. දෙවනුව ඒක විධායකය විසින් අනුමත කරලා නීතියක් විදියට අධිකරණය හරහා ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට අපි ඒ නීතියෙන් බැඳිලා ඉන්නවා. ඒකනිසා ලෝකෙ මොන රටක මොන නඩු තීන්දු තිබ්බත් අපිට අදාල වෙන්නෑ. නීතිය අලුතින් දේවල් අපිට එක්කහු කරනන් බෑ. ඒක කරන්න ඕන සුප්‍රිම් උසාවිය. අපි බැඳිලා ඉන්නෙ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ වගන්තිවලින් විතරයි' යනුවෙනි.
 
පොලිස් කොස්තාපල්වරයාගේ කදිම පිළිතුරෙන් පසු විත්තිකරුගේ උගත් නීතිඥවරයා කිසිදු බාධා කිරීමකින් තොරව කල්ගත කොට ඇත. ප්‍රශ්න කිරීම් අවසානයේ යෝෂිතගේ ප්‍රකාශය තමාට කියවා බැලීමට අවශ්‍ය බව ජනාධිපති නීතිඥවරයා පොලිස් කොස්තාපල්ට පවසා තිබේ. එසේ කියවන්නට දීමට නොහැකි බව පොලිස් කොස්තාපල් පවසද්දී ජනාධිපති නීතිඥවරයා කියා ඇත්තේ 'ඇයි අද ඒක කරන්න බැරි ? මම ඊයෙ ශිරන්ති මැඩම්ගෙ කටඋත්තරයත් කියවලා අනුමත කරයින් පස්සෙ තමයි මැඩම් ඒකට අත්සන් කළේ' කියාය.
 
ඊට කොස්තාපල්වරයාගේ පිළිතුර වී ඇත්තේ 'ශිරන්ති මැඩම්ට හරියට සිංහල බෑ. අපි ඒක දන්න නිසා තමයි ඔබතුමාට ප්‍රකාශය කියවන්න දුන්නෙ. මෙතන එහෙම ප්‍රශ්නයක් නෑ. යෝෂිත මහත්තයට හොඳට සිංහල පුලුවන්. එතුමා මේක නැවත කියවලා අත්සන් කරලා තියෙන්නෙ' කියත්ම යෝෂිත සියලුම දෙනාට ඇසෙන පරිදි පවසා ඇත්තේ 'නෑ... නෑ... මට හොඳට සිංහල පුලුවන්. මම කියපු දේ තමයි මේකෙ ලියලා තියෙන්නෙ' යනුවෙනි.
 
ඊයේ (15) රහස් පොලිසිය වෙත කටඋත්තර දීමට ආ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමගද පැමිණ ඇත්තේ මෙම ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාමය. එහිදී ඔහු සියලුදෙනාට ඇසෙන පරිදි ශිරන්ති රාජපක්ෂ මහත්මියට පවසා ඇත්තේ 'මැඩම්, ඊළඟට අපේ ආණ්ඩුව ආපු ගමන් අධිකරණයයි පොලිසියයි ස්වාධීන කරන්න ඕන' කියාය. එවිට ප්‍රශ්න කිරීම් භාරව සිටි පොලිස් නිළධාරීන් හා නිළධාරිනියන් එකිනෙකාගේ මූණු බලාගෙන ඇත්තේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවා රාජපක්ෂ පවුලේ හිතෛශියෙකු වන මොහාන් පීරිස් නමැත්තා අගවිනිසුරු කළ ආකාරය සිහි වූ නිසාවෙනි.
 
තවත් අවස්ථාවකදී ප්‍රශ්න කිරීම් අතරතුර ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ විමර්ශන නිළධාරීන්ට පවසා ඇත්තේ 'මම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක්, මට මෙතනට මගේ කණිෂ්ඨ නීතිඥවරයෙක්ව ගෙන්නන්න ඕන' කියාය. ඊට පිළිතුරු දී ඇති විමර්ශන නිළධාරීන්, අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 110(2) වගන්තිය උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ සඳහන් වන්නේ නීතිඥවරයෙකු කියා මිස ජනාධිපති නීතිඥවරයෙක් ද කණිෂ්ඨ නීතිඥවරයෙක් ද කියා නොවන බැවින් එක් නීතිඥවරයෙකු හැරෙන්නට තවත් අයට එහි පැමිණීමට නොහැකි බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top