1150 x 80 px

රාජපක්ෂලා වෙනුවෙන් මෙවන් සිල්වා ලසන්තව දඩයමට ගිය හැටි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී මෙවන් සිල්වාව පත් කිරීමට පොලිස්පති පූජිත් ජයසින්දර ගන්නා වෑයම පිළිබඳව "CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්" මැයෙන් ලංකා නිව්ස් වෙබ් අපි කරුණු හෙළිදරව් කළෙමු. මෙකී මෙවන් සිල්වා පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂලාගේ වුවමනාව වෙනුවෙන් එවකට සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු දැන් අප වෙත ලැබී තිබේ. 

 

2007 වසර වන විට එවන් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකි. එවකට CID අධ්‍යක්ෂකවරයාව සිටියේ සිසිර මෙන්ඩිස් ය. අද ඔහු ජාතික බුද්ධි අංශය භාරව සිටී. එවකට පැවති රාජපක්ෂ පාලනයට ලසන්ත වික්‍රමතුංගව මහත් හිසරදයක් වී තිබිණි. සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ලසන්ත විසින් දිගින් දිගටම රාජපක්ෂලාගේ දූෂණ හෙළිදරව් කිරීම හේතුවෙන් ගෝටාබය රාජපක්ෂ සිටියේ කෙසේ හෝ ලසන්තගෙන් පළිගන්නා මානසිකත්වයකිනි. එහෙයින් ලසන්තට එරෙහිව ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු සෙවීම CIDයට පැවරී තිබිණි. 

මෙසේ ලසන්තගේ තොරතුරු හාරා අවුස්සමින් සිටි මෙවන් සිල්වාට හමුවන්නේ සන්ඩේ ලීඩර් ආයතනය විසින් ගෙවිය යුතුව තිබුණු ණයක් පිළිබඳව හෝඩුවාවකි. ඒවන විට සන්ඩේ ලීඩර් ආයතනය ඔවුන්ට මුද්‍රණ කඩදාසි සපයන සැපයුම්කරුවාට රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් ණය වී තිබුණු අතර මාස දෙකක් පමණ එම මුදල ගෙවීම පමා වී තිබී ඇත. මේ තොරතුර ලත් සැණින් මෙවන් සිල්වා එය ගෝටාබය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබේ. 

මේ තොරතුර ලැබීමෙන් මහත් සතුටට පත් වී ඇති එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටබය ප්‍රකාශ කර ඇත්තේ මෙය හේතු කරගෙන ලසන්තව අත් අඩංගුවට ගත හැකි බවත් වහාම මුද්‍රණ කඩදාසි සැපයූ ව්‍යාපාරිකයාව ගෙන්වන ලෙසත්ය. ඒ අනුව මෙවන් සිල්වා අදාල ව්‍යාපාරිකයා වෙත ගොස් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබේ. සැබැවින්ම ලසන්ත සහ අදාල ව්‍යාපාරිකයා අතර වූ ගනුදෙනුව එකී ව්‍යාපාරිකයා විසින් නීතිය හමුවට ගෙන නොගියේ නම් පොලීසියට එතැන කිරීමට කිසිම රාජකාරියක් නැත. එසේම ලසන්ත මුදල් නොගෙවාම සිටියා වුවත් එය වංචා විමර්ශන අංශයට ( Fraud bureau) මිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොහෙත්ම අදාල එකක් නොවේ. එහෙත් වුවමනාව ගෝටාබයගේ බැවින් මෙවන්ට මේ කරුණු කිසිවක් වැදගත් වූයේ නැත. 

ව්‍යාපාරිකයා හමුවූ මෙවන් ඔහුගෙන් ලසන්තගේ ණය ගැන ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ වෙනදාටත් සමහරවිට ගෙවීම් පමාවන නමුත් ඒවා අනිවාර්යයෙන් ම ලැබෙන බවත් තමන්ට එහි ප්‍රශ්නයක් නොමැති බවත්ය. එහෙත් නොයෙකුත් ආකාරයෙන් ව්‍යාපාරිකයාව බිය වැද්දූ මෙවන් සිල්වා ඔහුව බලහත්කාරයෙන් ම CIDයට ගෙනගොස් ඇත. එහිදී ඔවුන් ලසන්තට එරෙහිව පැමිණිල්ලක් කරන මෙන් ව්‍යාපාරිකයාට බලපෑම් කර ඇති අතර බියට පත් ව්‍යාපාරිකයා ද පැමිණිල්ලක් කර තිබේ. 

ඉන්පසුව මෙවන් සිල්වා එම පැමිණිල්ල පාදක කරගනිමින් අධිකරණයට ද කරුණු දක්වා ලසන්තව අත් අඩංගුවට ගැනීම සඳහා කටයුතු සූදානම් කරමින් සෝදිසි වරෙන්තුවක් ද ලබාගෙන ඇත. කෙසේවෙතත් මේ කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු ලසන්ත වික්‍රමතුංගට ද ආරංචි වී ඇති අතර ඔහු වහාම ක්‍රියාත්මක වී සැපයුම්කරුවාට ගෙවිය යුතුව තිබුණු සම්පූර්ණ බිල්පත මුදල් ගෙවා පියවා ඇත.

සෝදිසි වරෙන්තුවත් රැගෙන ලසන්තව අත් අඩංගුවට ගැනීමේ අරමුණින් යුතුව තවත් නිලධාරීන් පිරිසක් සමග මෙවන් සිල්වා සන්ඩේ ලීඩර් කාර්යාලයට කඩා පනින විට ලසන්ත වික්‍රමතුංග ද කිසිවක් නොදන්නා අයුරින් පාඩුවේ හැසිරී ඇත. ලසන්ත හමුවේ පොලිස් උජාරුව ද රාජපක්ෂලාගේ හයියද පෙන්නාගෙන තමන් පැමිණියේ ඔහුව අත් අඩංගුවට ගැනීමටයැයි පාරම් බෑ මෙවන්ගෙන් ලසන්ත විමසා තිබුණේ හේතුව කුමක්ද යනුවෙනි. එවිට මුදල් හුටපටය ගැන කියද්දීම ලසන්ත විසින් තමන් ගෙවූ බිල්පත් මෙවන්ට ඉදිරිපත් කළ නිසා මෙවන්ට සිදු වූයේ සියල්ලන්ම ඉදිරියේ ලැජ්ජාවට පත්වීමටය. ලැජ්ජාව වසා ගැනීම සඳහා සෝදිසි වරෙන්තුව පෙන්නමින් එතැන තවත් හාරා අවුස්සන්නට මෙවන් සූදානම් වූ නමුත් නීතීඥයකු වූ ලසන්තගේ විරෝධය හමුවේ ඔහුට සිදුවූයේ අවසානයේ සියල්ල හකුලාගෙන ආපසු යන්නටය. 

ව්‍යාපාරික කටයුතු වලදී ණයට ගැනීම සාමාන්‍ය දෙයකි. එම ණය ගනුදෙනු පමා වීමද මහා අරුමයක් නොවේ. එවන් සාමාන්‍ය සිදුවීමක් දඩමීමා කරගනිමින් ව්‍යාපාරිකයකු බියවද්දා බලෙන් පැමිණිලි දම්මවාගෙන අධිකරණය ද නොමග යවමින් රාජපක්ෂලා වෙනුවෙන් මෙවන් කටයුතු කර තිබුණේ එසේය. ඔහුගේ එකම හැකියාව ලොක්කන් පිනවීමය. අදටත් CIDය මඟින් කෙරෙණ විමර්ශන වලට සම්බන්ධ ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට වුවමනා වී ඇත්තේ මෙවන් සිල්වාව CID අධ්‍යක්ෂක ධුරයට පත් කරවා ගැනීමටය. ඒ හරහා තමන්ට විරුද්ධ පරීක්ෂණ යට ගස්වා ගැනීමටය. එවන් දේශපාලකයින් දැනටත් දතකට මැදගෙන සිටින්නේ මෙවන්ට තනතුර ලැබෙන තුරුය. 

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් එක හඬින් පවසන්නේ CID අධ්‍යක්ෂක තනතුරට සුදුසුම පුද්ගලයා ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකර බවය. මෙවන් සිල්වාව පත් කිරීමට ඔවුන් විරුද්ධ වන්නේ මෙවන්ගේ ඉතිහාසය ඔවුන් දන්නා නිසාය. එහෙත් පොලිස්පති පූජිත් ජයසුන්දර එම තනතුර සඳහා පොලිස් කොමිසම වෙත නිර්දේශ කර යවා ඇත්තේ මෙවන් සිල්වාගේ නම පමණය.  පොලිස් කොමිසමෙහි ද එහි සභාපතිවරයාගේ අභිමතයට පිටින් වෙනත් අයගේ වුවමනාවෙන් වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයින් සිටින බව අපි දනිමු. පොලිස් කොමිසමේ තීරණය පිළිබඳව අප ද සිටින්නේ දැඩි අවධානයෙනි.

සබැඳි පුවත් - 

CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top