1150 x 80 px

මෙවන් ව පත් කරන්න මට කිව්වේ ජනාධිපති - පොලිස්පති

බී. ආර්. එස්. ආර්. නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) අධ්‍යක්ෂක තනතුර සඳහා ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී මෙවන් සිල්වා ව පත් කිරීමට තමන්ට උපදෙස් දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ. පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ තවත් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සමඟය. 

 

CID අධ්‍යක්ෂක තනතුරට මෙවන් සිල්වා පත් කිරීමට උත්සාහ කරන්නේ තමන් බවට සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරණය වී ඇති බවත් එහෙත් තමන් ඊට සම්බන්ධ නොමැති බවත් පොලිස්පතිවරයා පවසා ඇත. මෙවන් සිල්වා දක්ෂ නිලධාරියකු බවත් තමනුත් පුද්ගලිකව ඔහුට කැමති බවත් ප්‍රකාශ කර ඇති පොලිස්පති වරයා එහෙත් තමන් මෙවන් සිල්වාගේ නම පමණක් අදාල තනතුර වෙනුවෙන් පොලිස් කොමිසම වෙත නිර්දේශ කර යැව්වේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත බව පවසා තිබේ. එසේම දැන් එහි සම්පූර්ණ වගකීම සමාජය ඉදිරියේ තමන්ට භාරගැනීමට සිදුව ඇති බවත් එය අසාධාරණ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. 

එසේම ගියවර පොලිස් කොමිසම රැස්වන අවස්ථාවේදී තමන් ඊට සහභාගී නොවුණේ ද මේ හේතුව නිසා බවත් තමන්ට මෙවන් සිල්වා වෙනුවෙන් පෙනී සිටීමට වුවමනාවක් නොමැති බවත් පවසා ඇති පොලිස්පතිවරයා පොලිස් කොමිසම විසින් කැමති තීරණයක් ගනු ඇතැයි ද කියා ඇත. 

කෙසේ වෙතත් හෙට (7) පොලිස් කොමිසම රැස්වී CID අධ්‍යක්ෂක ධුරය පිළිබඳව තීන්දුවක් ගැනීමට නියමිතය. ඒ අනුව තනතුර හිමිවන්නේ ශානි අබේසේකරටද මෙවන් සිල්වාටද යන්න හෙට තීරණය වනු ඇත.

සබැඳි පුවත් - 

රාජපක්ෂලා වෙනුවෙන් මෙවන් සිල්වා ලසන්තව දඩයමට ගිය හැටි

CID විමර්ශන අඩාල කිරීමට පොලිස්පතිගෙන් කුමන්ත්‍රණයක්

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top